Posted on

“ඉතින් දැන් කොහෙන්ද, කොහොමද පටන් ගන්නේ?”

ඔව්, චිත්‍රපටියක් හදනවා කියන්නේ දීර්ඝ ක්‍රියාවලියක්. කෙටි චිත්‍රපටයක් වුණත් දිග චිත්‍රපටයක් වුණත්, යම්කිසි විදිමත් පිළිවෙලකට වැඩ කළොත් තමයි හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මොකද්ද ඒ පිළිවෙල?

චිත්‍රපටියක් හැදෙන මූලික ක්‍රියාදාමය අපිට කොටස් තුනකට කඩලා ඉගෙන ගන්න පුළුවන්.

01. පූර්ව නිෂ්පාදන අවදිය – Pre-Production stage
02. නිෂ්පාදන අවදිය – Production Stage
03. පසු නිෂ්පාදන අවදිය – Post-Production Stage


හරි, කලබල වෙන්න දෙයක් නෑ. මේවා මොනවද කියල එකින් එක ඉස්සරහට වැඩිදුර පැහැදිලි කරගමු. දැනට සරලව කිව්වොත් පූර්ව නිෂ්පාදන අවධිය හෙවත් පෙර නිෂ්පාදන අවධිය කියන්නේ චිත්‍රපටයක් රූප ගත කරන්න කලින් සිදු කරන සියලු සූදානම් කිරීම් මේ අවධියට දාන්න පුළුවන්. උදාහරණයක් විදියට චිත්‍රපටියට හොඳ කතාවක් ගොතා ගන්න එක. ඒක ලියන එක(Screenplay writing). මේක නිෂ්පාදනය කරන්න රුපියල් කීයක් යයිද කියලා බජට් එකක් හදාගන්න එක(Budgeting), චරිතවලට සුදුසු නළු නිළියෝ හොයා ගන්න එක (Auditions & Casting), තාක්ෂණික මෙවලම් සහ ශිල්පීන් හොයා ගන්න එක(Film crew and equipment), දර්ශන තල හොයාගන්න එක(Location scouting), රූගත කිරීමට නිශ්චිත වැඩ පිළිවෙලක් සකස් කරගන්න එක(production plan) ආදී කී නොකී කටයුතු රාශියක් මේ පූර්ව නිෂ්පාදන අවධියට දාන්න පුළුවන්. එහෙනම් නිෂ්පාදන අවධිය කියන්නේ ඒ මූලික නිෂ්පාදන කටයුතුවලින් පස්සේ චිත්‍රපටිය රූප ගත කරගන්න වැඩේට(Lights, Camera and Action!).

පසු නිෂ්පාදන අවධිය කියන්නේ රූපගත කරපු සියලුම විඩියෝ ෆයිල් ටික(Raw footage) (ඉස්සරනම් ෆිල්ම් රීල් හෝ විඩියෝ ටේප් ටික) එකතැනකට අරගෙන පරිඝණක භාවිතා කරලා ච්ත්‍රපටයේ පිටපතට අනුව සියලුම රූප ටික පිළිවෙලට පෙළගස්වගන්න එක. සිනමා සංස්කරණය(Film editing) කියන්ත්නෙත් මේ වැඩේටම තමයි. ඒ විතරක් නෙමේ, චිත්‍රපටයේ දෙබස්(dubbing) සහ ශබ්ද මුසු කිරීම(Sounds), සංගීත නිර්මාණය(film score), දෘෂ්‍ය ප්‍රයෝග(VFX – Visual effects) සහ පරිඝණක සජීවීකරණ(Computer animation) එකතු කරගැනීම, සහ අවසානයේ මේ සියල්ල එකලස් කරගෙන චිත්‍රපටය එළියට ගැනීම. (තව ප්‍රචාරණය සහ බෙදා හැරීම වගේ වැඩත් තියෙනවා.ඒවා වෙනම කතා කරමු.)
සමහරු මේ නිෂ්පාදන අවදි තුන, කොටස් පහකටත් සමහරු කොටස් හතකටත් බෙදා දක්වනවා. නමුත් මූලිකව මේ අවදි තුන ඇතුලේ අපිට ඒ සියල්ල ගැන කතා කරන්න පුළුවන්.

ඔන්න දැන් අපිට ඉගෙනගන්න යන්න ඕන පාරක් පේනවා. ඒ තමයි ඉස්සෙල්ල කියපු අවදි ටික එකින් එක විස්තර සහිතව පිළිවෙලකට හදාරලා බලන එක.

“හරි එහෙනම් එහෙම කරමු. යමු ඊළඟ එකට.”

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...
Avatar

Reply | ඔබේ අදහස්