Posted on

මේ බ්ලොග් කයිවාරුව ලියැවෙන්නේ චිත්‍රපටිකාරයෙක් වෙන්න හදන අයට ඒක කරන්නේ කොහොමද කියලා, මුල ඉදලා පියවරෙන් පියවර බොහොම සරලව පහැදිලි කරමින්, න්‍යායාත්මක, ප්‍රායෝගික සහ තාක්ෂණික වශයෙන් අපි අතරේ තියෙන දැනුම ටික බෙදාගන්න.


පළමු කයිවාරුව!

“ඇයි මෙහෙම එකක් කරන්න ඕන වුණේ?”

දැනට අවුරුදු එකොළහකට විතර කලින්, සරසවියේ පළවෙනි වසර ශිෂ්‍යයෙක්ව ඉන්න අතරේ මට ඕන වෙනවා චිත්‍රපටියක් හදන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න. ඉතින් මුලින්ම කළේ කැම්පස් එකේ පුස්තකාලයට වැදිලා ඒකේ තියෙන පොත් රාක්ක අතරේ ච්ත්‍රපටියක් හදන්නේ කොහොමද කියන එක ගැන සිංහලෙන් තියෙන පොත් ටිකක් හොයාගන්න එක. ඇත්තටම එහෙම එකක් මට හම්බුණේ නෑ. ඒ වෙනුවට තිර රචනය සහ අනෙකුත් තාක්ෂණික කාරණා සම්බන්ධ පොත් දෙක තුනක් හම්බුණා. අවංකවම කියනවනම් ඒ ටික කියෙව්වට පස්සේ චිත්‍රපටියක් ලිවීමේ ආසාව එතනින්ම අහවර වුණා. මොකද ඒවා ලියලා තිබුණේ හරිම බරසාර විදියට. ඒ ටික කියෙව්වාම හැගුණේ මේ විෂයට අතගහන්න නම් මං වගේ මෝඩයෙකුට කවදාවත් බැරි වේවි කියලා. ඒකට මූලිකම හේතුව තමයි, මොනවද ඒවායේ කියවෙන්නේ කියලා පොදු පාඨකයාට නොතේරෙන එක. ඉතින් ඒවා කියවන එකාට චිත්‍රපටියක් හැදීමේ ආසාව එතනින්ම ඉවර වෙනවා. ( මේ කියන්නේ 2009 විතර මගේ අත්දැකීම. දැන් වෙනකොට තත්වය කොහොමද දන්නේ නෑ.)

ඉතින් ඊට පස්සේ?

ඊට පස්සේ අපිට සහෘද ගුරුවරු කීපදෙනෙක් මුණගැහුණා. ඔවුන් අපිට පුරුදු කළා චිත්‍රපට බලන්න, කියවන්න සහ සාකච්ඡා කරන්න. ඒ වගේම ලියන්න. බය නැතුව ලියන්න. ඉතින් මේ විදියට විවිධ දේවල් ලියමින් අතහදා බලමින් පහුගිය අවුරුදු දහයක විතර කාලයේ මේ සම්බන්ද අපූරු චාරිකාවක යෙදෙන්න පුළුවන් වුණා. ඒ වගේම පහුකාලයේදී මේ නිර්මාණාත්මක රස්තියාදුවෙන් ලබාගත් යම් යම් දේවල් විවිධ ශිෂ්‍ය කණ්ඩායම් එක්ක බෙදා ගන්නත් පුළුවන් වුණා. එතෙන්දී මේ චිත්‍රපටිකරණය පිළිබඳ දැනුම එක තැනකට ගන්න පුළුවන්නම් හොදයි කියන හැගීම මගේ හිතේ නිතරම තිබුණා. ඉතින් මේ බ්ලොග් කයිවාරු ලියන්නේ ඒ ආසාවේ එක පියවරක් විදියට.

“ඉතින් දැන් කොහොමද මේක කරන්න යන්නේ?”

ඒක කරන්නේ වෙලාව තියෙන හැටියට දිනපතා හෝ සතිපතා පළකරන කෙටි ලිපි මගින්.

“ලිපි? අපෝ කියවන්න කම්මැලියිනේ!”

මේක ලියන්නේ පුළුවන් තරම් සරලව, කියවන්න ලේසි වෙන්න. ඒ වගේම මූලික න්‍යායාත්මක පදනම දාගන්න පුළුවන් වෙන්නෙත් මේ ලියැවිලි වලින් තමයි. ඉදිරියේදී අවශ්‍ය තැන්වලට වීඩියෝ කෑලි ඔබන්නම්. ඒවා බලන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕන, කියවන්න කම්මැලියි නම් චිත්‍රපටකාරයෙක් වෙන්න අමාරුයි. නිර්මාණකරණයේ යෙදෙන්න නම් ඉස්සෙල්ලාම හොඳට කියවන්න වෙනවා. ඉතින් ඒකටත් මේක එක්තරා පුහුණුවක්.

“කාටද මේක සුදුසු?”

චිත්‍රපටිය, සිනමාව කියන විෂයට අලුත්, නමුත් උනන්දුවක් තියෙන ඕනෑම කෙනෙකුට මේක කියවන එකෙන් උදව්වක් වෙයි කියලා හිතනවා. ඒ වගේම දැනට චිත්‍රපටිකරණයේ යෙදෙන නිර්මාණකරුවන්ටත්, තාක්ෂණ ශිල්පීන්ටත්, සිනමාව විෂයක් විධියට බරසාරෙට ඉගෙන ගන්න සිසුන්ටත්, සමහර සමහර කාරණා පිළිවෙලකට පෙළ ගස්වගන්න මේක ප්‍රයෝජනවත් වේවි. ඒ විතරක් නෙමෙයි, පිස්සෝ වගේ චිත්‍රපටි, ටී.වී සීරියස් බලන අයටත් මේකෙන් වැඩක් තියේවි.

“ආ.. දැනට ඔය ඇති. යමු බලන්න ඉස්සරහට.”

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 1.00 out of 5)
Loading...
Avatar

3 Replies to “01. මොන මගුලක්ද මේ? (Introduction)”

  1. ඔක්කොම වැඩ පැත්තක දාලා මුලක ඉදන් කියවන්න පටන් ගත්තා සර්… ජය වේවා සර් -කවියා-

Reply | ඔබේ අදහස්