චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය කලින් ලිපියේ ඉතාම කෙටියෙන් පැහැදිලි කළා. එහිදී අපි නිෂ්පාදන ක්‍රියාවලිය කොටස් තුනකට බෙදා වෙන්කරලා බැලුවා. ඒ වගේම මේ ක්‍රියාවලිය කොටස් පහකටත්, හතකටත් වෙන්කරල හදුන ගන්න පුළුවන් කියල කතා කළා මතක ඇති. පහත රූප සටහනෙන් පෙන්නුම් කරන්නේ එම තුනේ, පහේ සහ හතේ බෙදීම් ය. මෙහිදී ඔයාට බලාගන්න පුළුවන් පූර්ව නිෂ්පාදනය, නිෂ්පාදනය සහ පසු නිෂ්පාදනය කියන මූලික නිෂ්පාදන ක්‍රියාදාමය (Film production phases / stages) ම තමයි නැවත නැවතත් විස්තරාත්මකව ඉදිරියට ගෙන ගිහින් තියෙන්නේ. එයට අලුතෙන් එකතුවෙලා තියෙන්නේ ‘බෙදාහැරීම’ කියන කොටස විතරයි. ඉතින් මූලික බෙදීමට අමතරව තියෙන වෙනත් බෙදීම්, විවිධ පොත්පත්වල සහ විවිධ වෙබ් අඩවිවල දක්වල තියෙන ආකාරයන්ගේ බොහෝ වෙනස්කම් දකින්න පුළුවන්. ඉතින් පහත දක්වන්නේ ඒ සෑම තැනකම පොදුවේ දැකිය හැකි බෙදීම් ආකාරයි.

දැන් අපි චිත්‍රපට නිෂ්පාදන ක්රියාදාමයේ ඉහත දක්වා ඇති කොටස් හතේ බෙදීම ගෙන, එම කොටස් හත වෙන වෙනම සාකච්ඡා කරමු.
01. සංවර්ධන අවදිය – Development
ඔබේ ඔලුවට කතා සංකල්පයක් ආපු තැන ඉදලා ඒක නිෂ්පාදනය කරන්න නිෂ්පාදකයෙක් (ඔයාගේ චිත්‍රපටයට බය නැතුව සල්ලි වියදම් කරන්න පුළුවන් කෙනෙක්) සොයාගෙන, තිර රචනය සම්පූර්ණ කරලා නිෂ්පාදනයට සූදානම් කරන තැනට එනකල් පියවර ටික සංවර්ධනය කියන අවධියට ගොනු කරන්න පුළුවන්. මේ අදියර ඉවරවෙනකොට අපේ අතට ලැබෙන වටිනාම output එක තමයි මූලික තිර රචනය.
02. පූර්ව නිෂ්පාදන අවදිය – Pre-Production
මෙතෙන්දි වෙන්නේ සම්පූර්ණයෙන් ලියලා ඉවරයක් කරපු තිර රචනයට අනුව නිෂ්පාදනය සැලසුම් කිරීම. මෙතෙන්දී වැදගත්ම දේ තමයි චිත්‍රපටයට වෙන් කරපු මුදල් ප්‍රමාණයට හරියන විදියට සියල්ල සැලසුම් කරගන්න එක. ඔයා චිත්‍රපටියයේ එක දර්ශනයකට හෙලිකොප්ටර් දහයක් දාන්න කල්පනා කරලා තිබුණත් මේ වෙලාවේ වියදම් කරන්න පුළුවන් වෙන්නේ හෙලිකොප්ටර් දෙකකට විතරයි. එහෙමනම් ඒ දර්ශනය අයින් කරනවද? නැත්නම් වෙනත් විදියකට මේක කරන්න බලනවද? හෙලිකොප්ටර් දෙකක් අරගෙන, ඉතුරු අට ඇනිමේෂන් වලින් පෙන්වනවා. එහෙනම් පසු නිෂ්පාදනයේ දී ඇනිමේෂන් කරන්න වෙනවා. ඒකට මුදල් වෙන් කරන්න ඕන, ඇනිමේෂන් වැඩ්ඩො හොයන්න ඕන. හොඳ පරිඝණක ඕන. ඊළගට ඔයාට ප්‍රධාන චරිතෙට ගන්ඩ ඕන ශාරුක් ඛාන්ව, හැබැයි එයාව ගන්න මුළු ෆිල්ම් එකටම යන මුදල එයාට වෙන් කරන්න වෙනවා. එහෙනම් එයාව අතැරලා ලංකාවේ වැඩ්ඩෙක් හොයාගන්න ඕන, රගපාන්න දක්ෂ ඒ වගේම බජට් එකටත් හරියන ජාතියේ කෙනෙක්. මේ වගේ, තිර රචනයට අනුව නිෂ්පාදනයේ ඉදිරියට මතුවෙන්න පුළුවන් ප්‍රශ්න, ගැටළු සාකච්ඡා කරලා නිශ්චිත සැලසුමකට එන්ඩ ඕන. මේක බරපතළ රාජකාරියක්, ඒක කරන්නේ චිත්‍රපටයේ නිෂ්පාදන කළමණාකරණ තැන. ඔව්, අධ්යක්ෂවරයාත් එක්ක එකතුවෙලා තමයි කරන්නේ. ඒ වගේම තිර රචකයාත්, නිෂ්පාදකතුමාත්, අනිකුත් ප්‍රධාන කලාකරුවන් සහ තාක්ෂණික ශිල්පීනුත් එකට එකතුවෙලා සාකච්ඡා කරලා තීරණ ගන්න සිද්ධවෙන අවදිය තමයි මේ. සරළවම කිව්වොත්, නිෂ්පාදන කළමණාකරුට පිස්සු හැදෙන තැන.අනිත් අයටත් එහෙම්ම තමයි ඉතින්. මේ අදියර ඉවරවෙනකොට මූලික සැලසුම් ලිපි ගොනු බර තොගයක් නිෂ්පාදන කණ්ඩායම අතින් නිම වෙනවා.
03. නිෂ්පාදන අවදිය – Production
කට්ටිය ඔක්කොම එකතුවෙලා මහන්සිවෙලා හදාගත්තු සැලසුම් අනුව කටයුතු පටන් ගන්නේ මෙතෙන්දී. කට්ටිය දැන් දර්ශනතල හදන්න පටන් ගන්නවා, රංග උපකරණ හදනවා, ඇදුම් මහනවා, වාහන හොයනවා, නිසි බලධාරීන්ගෙන් අවසර ගන්නව, එහාට දුවනවා මෙහාට දුවනවා, ඒ අතරේ අධ්යක්ෂවරයා තමන්ගේ නළු නිළි සෙට් එකත් එක්ක මූලික වටයේ පිටපත් කියවීම් සහ පුහුණුවීම් කරගෙන යනවා. දැන් වැඩේ පටන් අරගෙන තියෙන්නේ. කට්ටියට පිස්සු උඩ දුවන වෙලාව.
04. මූලික රූගත කිරීමේ අවදිය – Principal Photography
සැලසුම් කළ විදියට සියල්ල හොදින් සිද්ධ වුණා නම් ඔයාට දැන් මේ වාක්‍ය කියන්න පුළුවන්,
Lights, Camera and Action!
ඔව්, එදිනෙදා කතාබහේදී ෂුටින් පටන් ගත්තා කියන්නේ මේ අවදියට තමයි. තිර රචනයට අනුව දර්ශන ටික ක්‍රමයෙන් රූපගත කරමින් යනවා. නමුත් මෙතනදී තිර රචනයේ පිළිවෙලටම නෙමේ දර්ශන රූපගත කිරීම් සිද්ධ කරන්නේ. මෙතෙන්දී Film crew එකට වඩා වැදගත් වෙන්නේ Story Board, Technical Script වගේ ඒවා, ඒ ගැන පසුවට කතා කරමු. හැමෝම තම තමන්ගේ වැඩ කොටස කරමින් ඉන්නේ. බලා ඉන්නකොට සල්ලි ඉවරවෙන්න ගන්නවා. හැම තප්පරයක්ම ගණන් කරන්න වෙන්නේ රුපියල් වලින්. ඉතින් කට්ටියට පිස්සුවේ අඩුවක් නෑ.
05. මූලික රූගත කිරීම් අවසන් කිරීම – Wrap
මේ වෙනකොට මූලික රූප ගත කිරීම් සියල්ල අවසන් කළා විතරයි. දැන් තියෙන්නේ කට්ටියගේ පඩි නඩි හරියට බේරලා, කුලියට ගත්ත බඩු බාහිරාදිය නිසි පිළිවෙලට අදාළ තැන්වලට භාරදීල කට්ටිය ගෙවල් වලට යවන එක. ඒ වගේම රූප ගත කරපු Video සහ Audio ෆයිල් (Rushes) ක්‍රමවත්ව ගබඩා කරලා ( Backups) සංස්කරණ මැදිරිවලට යවන්න ඕන. ඕන්න දැන් කට්ටියකට හුස්මක් ගන්න පුළුවන්. ඒත් සංස්කරණ ශිල්පීන්ට පිස්සු හැදෙන්න පටන් ගන්නේ දැන් තමයි.
06. පසු නිෂ්පාදනය – Post-Production
මෙතෙන්දී තමයි රූප ගත කරපු විඩියෝ ෆයිල් ටික පිළිවෙලකට හදා ගෙන තිර රචනාවට අනුව ෂොට් එකෙන් ෂොට් එකට සියුම්ව පුරුද්දන්න පටන් ගන්නේ. ඒ වගේම නළු නිළියෝ ගෙන්න ගෙන රූපයට හඬ මුසු කරන්නේ. විවිධ ශබ්ද ඇතුළත් කරන්නේත්, ඒ වගේම සංගීතය නිර්මාණය කරන්නේත් මේ අවදියේදී ම තමයි. බොහෝ විට ගීත එහෙම තියෙනවනම් ඒවා මූලික රූපගත කිරීමට කලින්ම නිර්මාණය කරලා තියෙන්න පුළුවන්. මෙතෙන්දී ඒවා ලස්සනට රූපයට මුසු කරනවා.
“ආහ්.. ඇයි අර හෙලිකොප්ටර් එහෙම ඇනිමේට් කරලා දාන වැඩේ! ඒවත් මේ කාලේ ඇතුළත සිද්ධ වෙනවා. “
අන්තිමට මේ ඔක්කෝම පාට,රූප,ශබ්ද එකට එකලස් කරලා චිත්‍රපටිය එළියට ගන්නවා. නමුත් මේ ‘පසු නිෂ්පාදන’ අවදිය කාලය ගොඩක් වැයවෙන, ඒ වගේම හුඟක් සංකීර්ණ ක්‍රියාවලියක් බවත් මතක් කරන්න ඕන.

07. බෙදාහැරීමේ අවදිය – Distribution
ඔයාගේ වැඩ ඉවර කරපු චිත්‍රපටිය දැන් ප්‍රේක්ෂකයාට බලන්න පුළුවන්. ඒත් කොහොමද ප්‍රේක්ෂකයා මේක බලන්නේ, ඒ ගොල්ලන් ඉන්නෙ ගෙදරනේ.අඩුම තරමේ ඔයා මෙහෙම චිත්‍රපටයක් හැදුවා කියලවත් ඒ ගොල්ලා දන්නේ නෑ නේ. එහෙමනම් ඒ ගොල්ලා ඉන්න තැනට, කිට්ටුම සිනමා ශාලාවට මේ චිත්‍රපටිය ගිහින් දෙන්ඩ ඕන. මේ ගැන හොඳ ප්‍රචාරයක් දෙන්න ඕන. ඒත් ඉතින් චිත්‍රපටයේ අධ්යක්ෂවරයා වුණ පළියට ඔයාට මේක තනියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමේ. ඉතින් ඒ නිසා ඒ වැඩේටම වෙන් වෙච්ච කට්ටියක් ඉන්නව. ඒ තමයි චිත්‍රපට බෙදාහරින සමාගම් (Film distributors). ලෝක ප්‍රසිද්ධ සිනමා බෙදාහරින සමාගම් ඔයා හොඳටම දන්නවා. මේ පෝස්ට් එකේ උඩම රූපේ තියෙන්නේ ඒ වගේ ප්‍රධාන සමාගම් ටිකක්(Columbia Pictures,Warner Bros,Universal Studios, 20th Century Studios, Dream works, Metro-Goldwyn-Mayer ආදී). මේ සමාගම් බොහෝ විට චිත්‍රපටි නිෂ්පාදනයත් කරනවා. ඒ කියන්නේ සමාගම සල්ලි වියදම් කරලා චිත්‍රපටි හදනවා. ඊට පස්සේ ඒ ගොල්ලාම ඒවා බෙදාහරින්නත් ප්‍රචාරය කරන්නත් වගබලාගන්නවා. ඒ නිසා ඔයාට තියෙන්නේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා ගෙදර එන්න. හැබැයි ලංකාවේ තත්වේ මීට හාත්පස වෙනස්.
ලංකාවේ චිත්‍රපට බෙදාහරීමේ බලය තියෙන්නේ ජාතික චිත්ර්පට සංස්ථාවට වුණත්, 1997 (DMS 360/NFC/P) යන පනත යටතේ පෞද්ගලික අංශයට මේ බලය බෙදලා දීලා තියෙනවා. ඒ අනුව ලංකාවේ ප්‍රධාන චිත්‍රපට බෙදාහැරිමේ සමාගම් 05ක් මේ වෙනකොට තියෙනවා NFC එකත් ඇතුළුව. ඒ තමයි,
Lanka Film Distributors Pvt Limited [LFD]
E.A.P. Films and Theaters Pvt Limited [EAP]
Movie Producers and Importers Pvt Limited. [MPI]
Cinema Entertainment Pvt Limited. [CEL]
Rithma Circuit(NFC).
මේ සමාගම් තමයි ඔයා හදන චිත්‍රපටිය රටේ වටේ බෙදා හැරලා ඒක මිනිස්සුන්ට පෙන්නන්නේ. ඒ ඒ ගොල්ලන්ට අයත් සිනමාශාලාවල. මේක ඉතින් සිල්ලර කඩේ බඩු වෙළදාම වගේ තමයි.හොදට විකිණෙන බඩුවක් නම් මුදලාලිලා ගන්නවා. අරගෙන රාක්කේ ඉස්සරහින්ම පේන්ඩත් තියනවා, හැබැයි විකිණෙන පාටක් නැත්නම් මුදලාලි වැඩි දවසක් ඒ බඩුව රාක්කේ තියන්නේ නෑ. ලංකාවේ චිත්‍රපට ප්‍රදර්ශනය සහ බෙදාහැරීම සම්බන්ද ලොකු අව්ලක් තියෙන බව තමයි චිත්රපටිකරුවන්ගේ අදහස. විශේෂයෙන්ම මේ වෙනකොටත් තරුණ චිත්රපටිකරුවන්ගේ චිත්‍රපට රාශියක් තාම කඩේට අරගෙනවත් නෑ. ඒ නිසා ඒ ගොල්ලා මේ ගැන ඉන්නේ ලොකු කනස්සලකින්. මේ ගැන ටිකක් වැඩිපුර කතා කරන්න වෙන්නේ වෙනම ලිපියකින්.
ඒත් දැන් සිනමා ශාලා වල චිත්‍රපට පෙන්වන එකට අමතරව ලෝකයේ තව විකල්ප ඩිජිටල් ප්ලැට් ෆෝම් ගණනාවක් මේ වෙනකොට චිත්‍රපටි ප්‍රදර්ශනය වෙනුවෙන් තියෙනවා(online streaming portals) . උදාහරණයකට Netflix, iTunes, Amazon Prime Video, Google Play Movies & TV, Hulu, HBO GO, Vimeo, YouTube. බොහෝ තරුණ් සිනමාකරුවන් මේ අලුත් ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එක්ක එකතුවෙලා තමන්ගේ චිත්‍රපටිය එළියට දානවා. අපිට අල්ලපු රටේ අනුරග් කාශ්‍යප්, කරන් ජොහාර්, සොයා අක්තාර්, වික්‍රමාදිත්‍ය මොත්වානී වගේ තරුණ චිත්‍රපට අධ්යක්ෂවරු (එච්චරම තරුණයි කියන්නත් බෑ දැන්) Netflix එක්ක එකතුවෙලා හරි හරියට වැඩ කරන්න පටන් අරන් තියෙනවා. ඉතින් අපිත් උත්සාහ කළොත් සිල්ලර කඩේට බඩු දානවා වෙනුවට මුළු ලෝකෙටම එකපාර බඩු ටික යවාගන්න පුළුවන් වේවි.
ඉතින් ඔයාට ලෝකේ කොතනක හරි ඉඩක් තියෙනවා කියලා පේනවනේ. දැන් ඒ වෙනුවෙන් සූදානම් වෙමු!
————–
පසු සටහන :
01. මේ නිෂ්පාදන පියවරයන් ප්‍රායෝගික තලයේදී මේ පිළිවෙලටම සිද්ධ නොවෙන්න පුළුවන්. උදාහරණයකට මූලික රූපගතකිරීම අතරතුරම මූලික සංස්කරණ කටයුතු ආරම්භවෙන්නත් පුළුවන්, ඒ වගේම අන්තිම අදියරේ සංස්කරණය කරමින් ඉන්න මොහොතේදීත් අධ්යක්ෂවරයාට තිරරචනය වෙනස් කිරීමට වුවමණා වෙන්නත් පුළුවන්. ඒත් මේ විදියට බෙදාලා පෙන්වන්නේ අධ්‍යයනයේ පහසුවට විතරයි.
02. මෙතන ඉදිරිපත් කරලා තියෙන සමහර සිංහල වචන ඉංග්‍රීසි වචන වල රළු පරිවර්තන බව සලකන්න. බොහෝ පාරිභාෂිත වචන ක්ෂේත්රයේ පාවිච්චි කරන විදියටම ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන එක තමයි වඩා හොඳම විදිය.
- අපේ සිහින ගොවිපළ – 2018 - November 25, 2020
- මියසාකිගේ සිහින දේශය (Hayao Miyazaki /Studio Ghibli Movies / Part II) - June 8, 2020
- ‘කොරෝනා’ චිත්‍රපටය එළි දැකීමට සූදානම්!Corona : Fear is a Virus - May 25, 2020