Posted on

ඔයාට ඕනෑ තරම් හිතිලා ඇති ‘මෙන්න මේ සිද්ධිය නම් චිත්‍රපටියක් වගේ’ කියලා. ඒ වගේම ‘මගේ ජීවිතේ’ නිකං චිත්‍රපටියක් වගේ නේද කියලා. එහෙම නැත්නම් ‘අපි දෙන්නගේ කතාව තනිකරම චිත්‍රපටියක් නේද?’ කියලා. සමහර වෙලාවට අපිට හිතෙනවා, ‘ඇත්තටම අපි ඉන්නේ චිත්‍රපටියක් ඇතුළෙද?’ කියලත්. ඒ තරම් චිත්‍රපටිය අපිට සමීපයි. ඉතින් ඔයාට එක වෙලාවකදි හිතිලත් ඇති ‘මේ අත්දැකීමෙන් මට චිත්‍රපටියක් කරන්න තිබුණානම්…’ කියලා.

ඔබ විශ්වාස කරනවද අපේ ළමා කාලෙදී අපි ඔක්කොම සිනමාව කියන එක අත්හදා බලන්න උත්සාහ කළා කියලා? මතකද ටෝච් එකක් පත්තු කරලා ඒක බිත්තියකට ගහලා, ඒකේ ආලෝකයට අත දාලා, සෙවණැල්ලෙන් එක එක සත්තුන්ගේ රූප මවන්න උත්සාහ කරපු හැටි. මතකද, ඊට පස්සේ ඒ රූප වලට හඬකවලා, චලනය කරවලා පොඩි පොඩි සිද්ධීන් නිර්මාණය කරපු හැටි. ඒත් එක්කම ඒ ‘එළිය’ ඉස්සරහට පස්සට අරගෙන රූපය ලොකු පොඩි කරමින් ඒකේ හැඟීම තව වැඩි කරපු හැටි. භූමිතෙල් ලාම්පුවක් නැත්නම් ඉටිපන්දමක් එක්කත් අපි මේ අත්දැකීම අරගෙන තියෙනවා. ඒ තමයි සිනමාව. වෙන මොකද්ද?

Shadow Puppetry

ලෝකේ ආදී මානවයත් සිනමාව උත්සාහ කරල බලන්න ඇති කියල දැන් හිතෙනවා නේද. ඔව් අනිවාර්යෙන්ම, ගිනි මැලයක් ගහලා ඒ වටා එකතු වුණ මිනිස්සු තම තමන්ගේ අත්දැකීම් බෙදා ගන්න කොට ගින්දරෙන් මතු වෙච්ච සෙවණැලි රූප, තමන්ගේ කතාව කියන්න පාවිච්ච කරන්න ඇති. සමහරවිට අපි ටෝච් එකෙන් දාපු සෙල්ලම, ඒ විදියටම ඒ ගොල්ලත් කරන්න ඇති. ඒකත් සිනමාවම තමයි.

Image copyright Peggy O’Neal 2013 

පොඩි කාලේ එක්සසයිස් පොතක් අරගෙන ඒකේ මුල ඉදන් අගට හැම පිටුවක ම උඩ හෝ යට කෙලවරේ කෝටු මිනිහෙක් ඇන්දා. ඇදලා පොත කෙළවරින් අල්ලා පිටු ටික වේගයෙන් පෙරළලා අර කෝටු මිනිහා දගලන හැටි ආසාවෙන් බලන් උන්නා. ඒ තමයි අපි චලනය අල්ලගන්න දරපු මුල්ම උත්සාහය. ඉතින්, ඒකත් සිනමාව.

Flipbook

දැන් සමහරවිට ඔයාට හිතෙයි “අපෝ මම ඔය එකක්වත් කරලා නෑ! මට සිනමාවට ඇති සම්බන්දයක් නෑ” කියලා. ඒක වෙන්ඩ පුළුවන්, නමුත් කල්පනා කරලා බැලුවොත් අපි කාගේ හරි කතන්දරයක චරිතයක් වෙන්න බැරිද? අන්න එතකොට ආයෙත් අපි චිත්‍රපටිකාරයෙක් වෙලා ඉවරයි.

දැන් මේ ලිපිය කියවලා ඉවරවෙනකොට අපිට සිනමාව ගැන චිත්‍රපටිය ගැන, වැදගත් කරුණු කීපයක් එකතුවෙලා තියෙනවා දකින්න පුළුවන්. මොනවද ඒ?

සිනමාව කියන මාධ්‍ය නිර්මාණය වෙන්න අපිට කිසියම් අලෝක ප්‍රභවයක් ඕන. ඒ වගේම ඒ ආලෝකය පාවිච්චි කරලා අපිට චලනය අල්ලගන්න පුළුවන් වෙන්න ඕන. ඒ දෙකම පාවිච්චි කරලා අන්තිමට අපිට කතාවක් කියන්න පුළුවන් වෙන්න ඕන. කතාවක් නැතත් එතන හැඟීමක් තියෙන්න ඕන.

ඉතින් අපි හැමෝම ජීවිතේ කිසියම් මොහොතක සිනමාව අත්විදිමින් ඉදලා තියෙනවා. නැත්නම් මේ මොහොතෙත් ඒක අත්විදිමින් ඉන්නවා. ඉතින් ඒ ගැන අවධානයෙන් හිටපු අය මේ සියල්ල එකතුකරලා එයාගේ කතාව අපිටත් පෙන්වනවා. ඉතින් ඔයාටත් බැරිද ඔයාගේ කතාව අපිටත් පෙන්නන්න? පොඩි චිත්‍රපටි කෑල්ලක් කරන්න?

මොකද බැරි? එන්න, ඊළඟ ලිපිය කියවන්න!

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...
Avatar

Reply | ඔබේ අදහස්