“මට ඕන මගේ ජීවිත කතාව චිත්‍රපටියකට ගේන්න. ඒත් මම දන්නේ නෑ ඒක කොහමද කරන්නේ කියලා.”
“මට චිත්‍රපටියක් කරන්න ආසයි. ඒත් මට හොඳ කතාවක් නෑ”
“මේ තමයි මම කියවපු හොඳම කෙටි කතාව, මේකෙන් ෆිල්ම් එකක් කරන්න තිබුණ නම් මරු.”
“මට නම් කවදාවත් හරිහමන් කතාවක් ලියාගන්න බැරිවෙයි”
“එයාගෙයි මගෙයි ලව් එක නිකම්… ෆිල්ම් එකක් වගේ. සිරාවට ඒකෙන් ෆිල්ම් එකක් කරන්න බැරිද?”
“ඌ තරම් ජීවිතේ කට්ට කාපු එකෙක් මම නම් දැකලා නෑ. උගේ ජීවිතේ තනිකරම ෆිල්ම් එකක්.”
“මට පොඩි කතාවක් තියෙනවා, ඒත් ඒක චිත්‍රපටියකට හරි යයිද දන්නේ නෑ”
“ඇහෙද්දිත් ඇඟ හිරිවැටෙනවා..එහෙම දේවල් වෙන්ඩ පුළුවන්ද? ඒක හරියට ෆිල්ම් එකක් වගේ!”
“ඒකනම් පට්ටයි! හිනාකාලා මැරෙනවා! කොමඩි ෆිලුමක් වගේ!”
මේ විදියේ දෙබසක් ඔයාගේ ජීවිතේ ඔයාට කවද හරි අහන්න ලැබිලා ඇති. බොහෝ විට ඔයාම කියලත් ඇති. ඒකයි ඔයා මේක මේ තරම් උනන්දුවෙන් කියවන්නේ. ඉතින් ඇයි තවත් හිත හිත ඉන්නේ? අපි චිත්‍රපටියක් කරමු!
“ඒත් ඉතින් කොහොමද?”
හරි. ඒක කරන්නේ කොහොමද කියන එක තමයි අපි දැන් ක්‍රමිකව කතා කරමින් ඉන්නෙ. ඔයා පිළිවෙලකට මේ බ්ලොග් එකේ තියෙන ලිපි ටික කියවන්න පටන් අරගෙන නම් තියෙන්නේ, එ කියන්නේ ඔයා දැනටමත් වැඩේට බැහැලා ඉන්නේ. එහෙනම් හරි! ඔයාගේ ඔලුවේ දැනටමත් මොකක් හරි කතාවක් තියෙනවානම් ඒක ටික වෙලාවකට පැත්තකින් තියන්න. ඔයාගේ ඔලුවේ මුකුත්ම නැත්නම් ඉතාම හොඳයි. චිත්රපටිකාරයෙක් වීමේ ආසාව විතරක් තියාගන්න. ඊට පස්සේ පහළ පියවර ටික එකින් එක, එකින් එක පිළිවෙලට කියවගෙන යන්න.
පියවර – 01 – මම චිත්‍රපටි කරන්නෙ මොකටද?
ඉතින් ඉස්සෙල්ලාම කල්පනා කළොත් ඇයි ඔයා චිත්‍රපටියක් කරන්න හදන්නේ කියලා… ගොඩක් උත්තර තියෙන්න පුළුවන්, ඒ කියන්නේ ඔයාට කියන්ඩ ලොකු කතාවක් තියෙන නිසා වෙන්ඩ පුළුවන්, නැත්නම් ඔයාට හොඳ නමක් හදාගන්න, සමාජ පිළිගැනීමක් හදා ගන්න, පොරක් වෙන්න, නැත්නම් සල්ලි ටිකක් හම්බකරන විදියක් හොයනවා වෙන්න පුළුවන්, අර ‘මහා තිරයේ’ / ‘රිදී තිරයේ’ තියෙන මැජික් එකට තියෙන ආසාව නිසා වෙන්න පුළුවන්, ෆිල්ම් ෆෙස්ටිවල්වලට දාන්න, දිනන්න, ලෝකේ වටේ පොඩි රවුමක් ගහන්න, නළුවෝ නිළියෝ ආශ්‍රය කරන්න, එහම නැත්නම් ඔයටම රගපාන්න ඕන නිසා ඔයාම චිත්‍රපටියක් කරන්න හිතනවා ඇති. ඉතින් මේ වගේ සීයක් හේතු තියෙන්න පුළුවන්. සමහර හේතු දාර්ශනිකයි. සමහර හේතු පෞද්ගලිකයි. මේ මොන හේතුව වුණත් කිසිම ප්‍රශ්නයක් නෑ. එකක් අනිකට අඩු වැඩි වෙන්නේ නෑ. මොකද ඔයා චිත්‍රපටියක් කරන එක ගැන හිතල තියෙනවා. ඒක හොඳ දෙයක්. ඒ නිසා එකම දේ “ඇයි මම මේක කරන්න යන්නේ?” කියල අවංක උත්තරයක් තමන්ට තියාගන්න එක. මොකද එතකොට ඔයා දන්නවා ඔයා යන්න ඕන කොතෙන්ටද කියන එක.
පියවර – 02 – ගඟක් වෙලා ඔබ ගලන්න!
ඔයාට චිත්රපටිකාරයෙක් වෙන්න ඕන නම් ඉස්සෙල්ලාම ඔයාට සිද්ධවෙනවා ගඟක් වෙන්න. ඒ කියන්නේ චිත්‍රපටියක් කරන්න ‘සදා නොසිදෙන ආශාවක්’ ඔයාට තියෙන්න ඕන. ගඟ උදාහරණෙකට අරගෙන බලමු. කාලෙකට වතුර වැඩි වෙන්න පුළුවන්,කාලෙකට වතුර හිදිලා යන්න පුළුවන්. තැනක ඉතාම හෙමීටත් තවත් තැනක ඉතාම ප්‍රචණ්ඩවත් ගලා යන්න පුළුවන්. මහා කන්දකින් පහළට කඩා වැටෙන්න පුළුවන් ඒ වගේම මහා තැන්නක් හමු වෙන්නත් පුළුවන්. මොනවා වුණත් අන්තිමට ගඟ ගිහින් මුහුදට එකතුවෙනවා. ඇත්තටම ඒ ගඟ මුහුදට වැටෙනකොට ඔයාට මුණ ගැහෙන්නේ, පුංචි උල්පත ගාවින් පටන් ගන්නකොට තිබුණ දියපහරනම් නෙමේ. ඒ දියපහර හුගක් වෙනස් වෙලා තමයි දැන් තියෙන්නේ. ඒත් නොනවත්වා මුහුද දක්වා ආවා. අන්න ඒ වගේ ඔයාටත් ඔයාගේ චිත්රපටිකාරයෙක් වීමේ සිහිනය, ආශාව සදා නොසිදා පවත්වගෙන යන්න ඕන.
පියවර – 03 – කවියෙක් වෙන්න
සිනමාව කියන්නේම කාව්‍යාත්මක වැඩක් කිව්වොත් හරි. මිනිස් ජීවිතය ගැන ආලෝකයෙන් ලියූ කවියක් තමයි සිනමාව.ඉතින් මනුෂ්‍ය ජීවිතය සහ එහි ස්වභාවය අවබෝධ කරන්න කවිය කියන්නේ හොඳම මෙවලමක්. පුළුවන් තරම් හොදින් බලන්න අපේ එදිනෙදා ජීවිතේට ළංවෙලා. ඔයාට පේන්න පටන්ගනී දහසක් කවි. පුළුවන්නම් ඒවා කුරුටු ගාන්න. නැත්නම් ඒවා ගැන දිගටම කල්පනාවේ තියාගන්න. ඒ වගේම හොඳ කවියන්ගේ කිවිදියන්ගේ කවි නිතර කියවන්න. කවි පොත් එකතු කරන්න. කවි කියවන එක පොඩි ආතල් එකක් කරගන්න. කියෝපු කවි ගැන යාළුවෝ එක්ක, කෙල්ල එක්ක, කොල්ල එක්ක කතා කරන්න. පොඩි පොඩි කවි කෑලි ලියලා යාළුවෝ එක්ක බෙදා ගන්න. චිත්රපටිකාරයෙක්ට කවිය කියන්නේ තමන්ගේ නිර්මාණ ශක්තිය වැඩි දියුණු කරගන්න තියෙන හොඳම මාධ්‍යයක්. ඉතින් චිත්රපටිකාරයෙක් වෙන්න කලින් කවියෙක් වෙන්න බලන්න. කවියෙක් නොවුණත්, අඩුම තරමේ ඔයාට පුළුවන් වෙයි හොඳ රසිකයෙක් වෙන්න. ( දිගටම කවි කියවන එක පුරුදු කළාට පස්සේ සත්‍යජිත් රායි ගේ සිනමා කෘති බලන්න උත්සාහ කරන්න. අලෝකයෙන් ලියූ කවි ඔයාට දකින්න පුළුවන් වේවි.)

පියවර – 04 – සාහිත්‍ය රසය දියුණු කරන්න.
‘කවිය’ වගේම අනෙකුත් සාහිත්‍ය මාධ්‍යයත් කියවන්න බලන්න. නවකතා,කෙටි කතා, නාට්‍ය කෘති විචාර ග්රන්ථ, පැරණි සාහිත්‍ය, ඉතිහාස ග්රන්ථ, බටහිර සාහිත්‍ය, පෙරදිග සාහිත්‍ය ආදී පොත පත, මේ හැම දෙයක්ම පුළුවන් තරම් කියවන්න උනන්දුව හදා ගමු. තිර රචනාවක් ලියන්න යනකොට මේ දැනුම ඔයාට දැඩිව ඕන වෙනවා. ඒ වගේම අධ්‍යක්ෂණය ඇතුළු සියලු කාර්යන්වලදී තමන් හොදට කියෝපු කරපු මිනිහෙක් වීම ඔයාට විශේෂ වාසියක්. මොකද, උසස් සිනමාකෘතියක් කරන්න පුළුවන් වෙන්නේ හොඳ පාඨකයෙක්ට විතරයි. ඒ වගේම සාහිත්‍ය පරිශීලනය, අපි ජීවිතය දෙස බලන විදිය වෙනස් කරනවා. අපිව අලුතින් හිතන්න පොළඹවනවා. ඒ වගේම චිත්‍රපටි වලට හොද නිර්මාණ බීජ සපයනවා. බලන්න ලංකාවේත් ලෝකයේත් සාහිත්‍ය කෘති පාදක කරගනිමින් කොපමණ චිත්‍රපටි තොගයක් හැදිලා තියෙනවද කියලා. ( ජපන් ජාතික ‘අකිර කුරසාවගේ’ චිත්‍රපට බලන්න. ඔහුගේ සිනමා කෘති නිර්මාණය කිරීමට සාහිත්‍ය කොච්චර දුරට ඉවහල් වෙලා තියෙනවද කියන එක පෙනේවි.)
පියවර – 05 – දෘෂ්‍ය කලාව අධ්‍යයනය කරන්න.
සිනමාව කියන්නේම රූපය ගොඩනගන වැඩේට. ඉතින් රූප ගොඩනගන්න නම් චිත්‍ර කලාව, මූර්තී කලාව, ගෘහ නිර්මාණ ශිල්පය ආදී දෘෂ්‍ය කලාවන් හැදෑරීම ඉතාම වැදගත්. අපේ දෘෂ්‍ය ඥානය ගොඩනගන්න මේක ඉතාම හොඳ අභ්‍යාසයක්. දෘෂ්‍ය කලාව සහ සිනමාව අතර සම්බන්ධය දකින්න පහත කෙටි විඩියෝව නරඹන්න.
චිත්රපටිකාරයෙක් වෙන්න කලින් අපිට කරන්න තව වැඩ ගොඩක් තියෙනවා කියලා ඔයාට දැන් පැහැදිලි වෙන්න ඕන. මේ ගමන එක රැයෙන් තරුවක් වීමේ සිහිනය වගේ එකක් නෙමේ. කාලයක් පුරුදු පුහුණු කරන්න ඕන වැඩක්. ඉවසීමක් සහ කැපවීමක් ඉල්ලා හිටින වැඩකට තමයි ඔයා මේ අතගහලා තියෙන්නේ. මේ කියන පියවර අනුගමනය කරලා බලන එක ඔයාගේ වැඩක්. නමුත් ඔයා මේවා කළොත් හොඳ පරිණත නිර්මාණකරුවෙක් එළියට ගන්න පුළුවන් වේවි.
ඉතින් තවම ඉවර නෑ. තව පියවර කිහිපයක් තියෙනවා ලියන්න. මේ ලිපිය ගොඩක් දිග එකක් වීම වළක්වා ගන්න ඕන නිසාත්, මේ ටික ලියලා දැන් මගේ අත රිදෙන නිසාත්, ඒ පියවර ටික ඊළග ලිපියෙන් විස්තර කරනවා. – Click here to Next Article
කවරයේ ඡායාරූපය – New York Film Academy
- අපේ සිහින ගොවිපළ – 2018 - November 25, 2020
- මියසාකිගේ සිහින දේශය (Hayao Miyazaki /Studio Ghibli Movies / Part II) - June 8, 2020
- ‘කොරෝනා’ චිත්‍රපටය එළි දැකීමට සූදානම්!Corona : Fear is a Virus - May 25, 2020
ගොඩාක් වැදගත් ලිපියක්. . චිත්‍රපට තිර රචනයක් ලියන්න ඉන්න නිසා වැදගත් උනා. ස්තුතියි.