Posted on

ඉතිං අපි කලින් ලිපියේ කතා කළා චිත්‍රපටියක් කරන්න තියෙන ආසාව මුදුන් පමුණුවා ගන්න අපි වැඩ කරන්න ඕන කොහොමද කියලා. පියවර කීපයක් ගැන ඒකෙදී සාකච්ඡා කළා. ඉතිරි පියවර ගැන දැන් කතා කරමු. ඒ වගේම මතක් කරන්න ඕන දැන් අපි මේ කරමින් ඉන්නේ, අපේ නිර්මාණ ජීවිතයට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරන එක. මොකද, අවශ්‍ය මූලික වටපිටාව සකස් කරගන්නේ නැතුව අපේ නිර්මාණ දිවිය සරු කරගන්න අමාරුයි. නැවතත් ඉතුරු පියවර ටිකට.


පියවර – 06 – Music අහන්න Music can inspire you.

අන්තර්ජාලය ඇතුළේ මේ වෙනකොට තියෙන සංගීත නිර්මාණ ප්‍රමාණය අසීමිතයි. You Tube සහ තවත් වෙබ් අඩවි ගණනාවක අපිට ඕන තරම් මේවා සොයාගන්න පුළුවන්. මෙතෙන්දී මම අදහස් කරන්නේ සින්දු නෙමේ. වචන අඩංගු නොවන ශුද්ධ සංගීත නිර්මාණ. විශේෂයෙන් Instrumentals, Classics, Rock, Jazz, Dubstep, Country, Electro, Indie Rock, Techno, African, Chinese, Indian, Medieval, Caribbean, Celtic, Irish, New-age,  Ambient , Meditation, Inspirational, Chill, Dark, Fantasy, ආදී ඕනෑම ලේබලයක් යටතේ එන සංගීතය අපේ පරිකල්පනය ගිනි පුළිගු වගේ පුබුදුවාලන්න මහත් උදව්වක් වෙනවා. සින්දු වුණත් ගැටලුවක් නෑ. නමුත් සින්දුවේදී අපි වචන එක්ක ගැටෙනවා, වචනවල අර්තයේ සීමාවට අපේ සිතීමත් හිරවෙන්න බලනවා. මෙතෙන්දී අපිට නොතේරෙන භාෂාවල සින්දු අහන එකනම් නියම වැඩක්. මොකද අපි එතෙන්දී ගනුදෙනු කරන්නේ ඒකේ හැගීම් එක්ක. ලංකාවේ ජන ගීතවල, නැටුම්වල එන බෙර තාල, කවි වගේ ඒවා අපේ පරිකල්පනය දියුණු කරන්න නියමෙට උපකාරී වෙනවා කියලා හිතනවා. උදාහරණයකට බෙරතාල සහ රොක් සංගීතය එකට මුසු කරගනිමින් ‘ත්‍රෛයිලෝක’ සංගීත කණ්ඩායම කරණ මේ නිර්මාණය බලන්න.

Thriloka – Maha Ravana (Thryminded Bootleged)

පියවර – 07 – නිතර චිත්‍රපටි බලන්න

චිත්‍රපටිකාරයෙක් වෙන්න හදන කෙනෙක් නිතරම චිත්‍රපටි බලන්න ඕන කියන එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමේනේ. ඒත් හැබැයි අද වෙනකොට ලෝකේ වසරකට නිෂ්පාදනය වෙන චිත්‍රපටි තොගය දිහා බැලුවම අපිට ඒ ඔක්කොම බලන්න බැරි වෙන එක සාධාරණයි. එහෙම දොඩම් ගොඩ බදාගත්තා වගේ චිත්‍රපටි තොගේට බලන්න ඕනත් නෑ. හැබැයි හදාරන්නෙක් විදියට අපි තෝරාගත්ත මාවත් ඔස්සේ නිර්මාණය වුණ සුවිශේෂ නිර්මාණ අනිවාර්යෙන් බලන්න ඕන. ඒ වගේම ලෝකය අගයන විශිෂ්ට සිනමාකරුවන් සහ සිනමාකෘති, අධ්‍යයන සදහා අනිවාර්යයෙන්ම බලන්න ඕන. අපි ඒවට කැමති වෙන්නත් පුළුවන් අකමැති වෙන්නත් පුළුවන්.නමුත් සුවිශේෂ කෘති නරඹන එක මේ ගමනේ ප්‍රධාන කොටසක්. ඉදිරි ලිපි කිහිපයක් මගින්, අපි නැරඹිය යුතු ලාංකික සහ ලෝක මට්ටමේ සිනමා කෘති ගැන කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා. පහත පළකරන්නේ ඉන්දීය සිනමා අධ්‍යක්ෂ ‘අනුරග් කාශ්‍යප්’ ගේ පෞද්ගලික සිනමා කෘති එකතුව පිළිබඳ වීඩියෝවක්. චිත්‍රපටිකාරයෙක් වෙන ගමන කොතරම් රසවත් සහ දුෂ්කර එකක්ද කියන එක ‘අනුරග්’ ගේ පෞද්ගලික සිනමා කෘති එකතුව දැක්කාම පේනවා.

A Tour Inside Anurag Kashyap’s DVD Library | Film Companion

පියවර – 08 – සිනමා ඉතිහාසය හදාරන්න.

සිනමා ඉතිහාසය කියන්නේ විසාල වපසරියක් සහිත අධ්‍යයන ක්ෂේත්‍රයක්. එය හැදෑරීමට යෑමේදී ඔබට, සිනමාව බිහි වුණේ කොහොමද? ඒය වර්ධනය වුණේ කොහොමද? සුවිශේෂ සිනමාකරුවන් සහ සිනමා කෘති මොනවාද? ඉතිහාසය පුරාවට පැන නැගුණ සිනමා ධාරාවන් මොනවද? ඇයි එහෙම විවිධ සිනමා ධාරාවන් ගොඩනැගුණේ? සිනමා තාක්ෂණය දියුණු වුණේ කොහොමද? සිනමා න්‍යයාන් ගොඩනැගුණේ කොහොමද? ඉතිහාසය පුරාවට සිනමාව සම්බන්ධයෙන් නම කියවෙන නළු නිළියන්, විචාරකයන්, න්‍යායාචාර්‍යවරුන්, ග්‍රන්ථ කතෘ වරුන් කවුරුන්ද? ඔවුන්ට විවිධ වටිනාකම් ලැබී ඇත්තේ ඇයි? රට රටවල්වල සිනමාව ගොඩනැගුණේ කොහොමද? ලංකා සිනමා ඉතිහාසයේ සිදු වූ දේවල් මොනවාද? ආදී වශයෙන් ඉතිහාසය දිහා බලන එක මේකෙදි කරන්න වෙනවා. ඒත් ඉතින් මේ ඔක්කෝම සර්ව සම්පූර්ණයෙන් හදාරන්න යන්න අවශ්‍යතාවයක් නෑ. මොකද මේක වෙනම විෂයක්. ඔයා කැමති තෝරාගත්ත කලාප පිළිබද සොයා බලන්න පුළුවන්, නැත්නම් මේ හැමදෙයක් ගැනම උඩින් උඩින් කියවල කරලා පොදු සාමාන්‍ය දැනීමක් ලබා ගන්න එකත් වැදගත්. මේවා පිළිබදවත් ලිපි කීපයක් ඉදිරියේදී ගෙන එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


පියවර – 09 – සමාජය මැද්දේ තනි වෙන්න.

මේකෙන් අදහස් කරන්නේ සමාජය එක්ක ගැවසෙන්න නමුත් අවධානයෙන් ඉන්න කියන එක. ඒ කියන්නේ? ඒ කියන්නේ ඔයා නිතරම සමාජයත් එක්ක මුහු වෙනවා, ඒ ගොල්ලත් එක්ක ඉන්නවා. නමුත් නිතරම මිනිස්සුන්ගේ හැසිරීම දිහා බලන්න. ඔවුන් කන බොන හැටි, සතුටු වෙන හැටි, දුක් වෙන හැටි, ආදරේ කරන හැටි, වෛර කරන හැටි, අනුකම්පා කරන හැටි, වෙහෙසෙන හැටි ආදී වශයෙන් මිනිස් ජීවිත දිහා අවධානයකින් බලන්න. ඒ වගේම ඒ ගොල්ල ඇයි එහෙම කරන්නේ? එහෙම හැසිරෙන්නේ ඇයි? කියන ප්‍රශ්නය නිතර තමන්ගෙන්ම අහන්න ඕන දෙයක්. ඒවාට විවිධ හේතු තියෙන්න පුළුවන්. සාමජීය, ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික තත්වයන්, මේවාට බලපාල තියෙන්නේ කොහොමද? එහෙම නැත්නම් මනෝමය හෝ කායික රෝග කොහොමද මිනිස්සුන්ට බලපාල තියෙන්නේ? මේ ආදී විදියට ‘සමාජ ගවේෂණය’ කියන්නේ හරිම රසවත් වැඩක්” හැබැයි මේක කරන්න ඕන කියලා ගිහිල්ලා හන්දිය මැද්දට වෙලා හිටගෙන ඉන්න අවශ්‍යතාවක් ම නෑ. ඔයාට පුළුවන් තමන්ගේ ම පවුලේ මිනිස්සු දිහා බලන්න පටන් ගන්න. එහෙමත් නැත්නම් ඔයාට ඔයා ගැනම අවධානයෙන් බලන්න පටන් ගන්නත් පුළුවන්.


පියවර – 10 – කයිවාරු කණ්ඩායම් හදාගන්න

ඔයා දැන් කවි කියෝනවා, සාහිත්‍ය පරිශීලනය කරනවා, දෘෂ්‍ය කලාව හදාරණවා, සංගීතය අහනවා, චිත්‍රපටි බලනවා, සිනමා ඉතිහාසය හදාරණවා, ඒ වගේම සමජය ගවේෂණය කරනවා. ඉතින් මේ ඔක්කෝම තනියෙන්ම කරන්න ඕනද? නෑ, ඔයා වගේම මේ දේවල් හදාරමින් ඉන්න, ඒ වගේම එක එක උණ තියෙන යාළුවෝ කීප දෙනෙක් ඔයාට ඇති. ඉතින් ඔයා බලපුවා කියෝපුවා ගැන ඔයාගේ අදහස මේ ගොල්ලත් එක්ක බෙදා ගන්න පුළුවන්. ඒ වගේම ඒ දේවල් ගැන ඒ ගොල්ලා හිතන විදිය ඔයාට දැන ගන්න පුළුවන්. ඒ නිසා මේ කයිවාරු කණ්ඩායම්වලට ගැහැණු පිරිමි දෙපාර්ශවයෙන්ම කීප දෙනෙක් එකතු වෙන එක හොදයි.
ඒ වගේම ඉතින් ඒ ගොල්ලත් එක්ක චිත්‍රපටි බලන්න යන්න පුළුවන්, චිත්‍ර ප්‍රදර්ශන, පොත් දොරට වැඩීම් , Film Festival, වේදිකා නාට්‍ය, සම්මන්ත්‍රණ ආදී සංස්කෘතික අවකාශවල, ඉඩක් ලැබෙන හැම වෙලාවෙම කරක් ගහන එක ඔලුව අවුල් කරගන්න හොඳ අභ්‍යාසයක්.
ඒ විතරක් නෙමේ ඔයාගේ සෙට් එකත් එක්ක ඔයා මේ දවස්වල හිතමින් ඉන්න චිත්‍රපටිය ගැන කයිවාරු ගහන්න ඔයාට පුළුවන්. එතකොට ඒක කොච්චර අබ්බගාත සිතුවිල්ලක්ද කියන එක ඔයාට දැනගන්න පුළුවන් වේවි. එහෙම නැත්නම් ඒක වැඩක් කරන්න තරම් වටින වැඩක් බව ඒ ගොල්ලා කියාවි. මතක තියාගන්න ඔයාගේ කයිවාරු සෙට් එකේ අවංක අදහස් කියන අය තියාගන්න. ඔයා කියන කරන හැම මඟුලටම “ඒකනම් පට්ටයි මචෝ” ගගා කොමෙන්ට් දාන අයගෙන්නම් වැඩක් නෑ. ඒ වගේම කයිවාරු කණ්ඩායමක් කියන්නේ 20ක් 30ක් ඉන්න group එකක් නෙමේ. ඒකේ ඉන්න පුළුවන් 05 දෙනෙකුට වඩා අඩුවෙන්. එතකොටයි ඒක ඵලදායී කයිවාරුවක් වෙන්නේ.

කයිවාරු කණ්ඩායම් හදාගන්න

ඉතින් චිත්‍රපටිකාරයෙක් වෙන්න නම් කොහොමද අපේ මූලික පසුබිම හදාගන්න ඕන කියන එක ගැන පියවර 10ක් යටතේ දැන් අපි කතා කළා. ඉතින් මේ පියවරයන් බොහෝමයක් එව්වා ඔයා දැනටමත් අභ්‍යාස කරමින් ඉන්නවා වෙන්න පුළුවන්. ඊට පස්සේ වැදගත්ම දේ තමයි චිත්‍රපටිකරණය සදහා මූලික හැදෑරීම් සිදු කිරීම සහ අභ්‍යාසකරණය. ඉතින් ඒකට සිනමා තාක්ෂණය, තිර රචනය, අධ්‍යක්ෂණය, රංගනය, සංස්කරණය ආදී මූලික විෂයන් ක්‍රමිකව හැදෑරීම වැදගත්. ඉදිරි ලිපි පෙළ මූලිකව ලියැවෙන්නේ තිර රචනාවක් කරන්නේ කොහොමද කියන එක අරමුණු කරගෙන. එහෙනම් ඊළඟ ලිපියෙන් හමුවෙමු. ජය!

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...
Avatar

One Reply to “06. මට චිත්‍රපටියක් කරන්න ඕන!’මෙන්න පියවර 10ක්’ (How to make a Film – Sinhala / Part – 02)”

Reply | ඔබේ අදහස්