Posted on

හොඳයි. චිත්‍රපටයක් ලියන්න යනකොට, අපි මුලින්ම තේරුම් ගන්න ඕන එක තමයි, තිර රචනාවක් කියන්නේ මොකද්ද (Screenplay / how to write a film script) කියලා. ඒක වෙනත් රචනා වලින් වෙනස් වෙන්නේ කොහොමද? ඒ වගේම තිර රචනයටම සුවිශේෂී අංග ලක්ෂණ මොනවද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගෙන යමු.


01. තිර රචනය කියන්නේ අපේ චිත්‍රපටියේ මූලික සැලැස්ම.

චිත්‍රපටියක නාට්‍යමය, සාහිත්‍ය පිටපත හදුන්වන්නෙ තිර රචනය කියන නමින්. තිර රචනයක් කියන්නේ පරිපූර්ණ කලා කෘතියක් නෙමේ. තිර රචනය කියන එක සලකන්න පුළුවන් වෙන්නේ කලා කෘතියක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේ එක පියවරක් හැටියට. තව ටිකක් පැහැදිලි කරලා කියනවනම් තිර රචනයක් කියන්නේ අපේ චිත්‍රපටියේ සැලැස්ම (Blueprint එකක්) හරියට ඔයා ගෙයක් හදන්න යනවනම් ඒ ගෙදර සැලැස්ම වගේ.



02. ‘සිඩ් ෆීල්ඩ්’ ට අනුව තිර රචනයක් කියන්නේ රූප මගින් කියන කතාන්දරයක්.

‘තිර රචනය’, කියන විෂයට මීට අවුරුදු හතලිහකට විතර කලින් මේ තරම් අවධානයක් තිබුණේ නෑ. නමුත් ‘සිඩ් ෆීල්ඩ්’ කියන ග්‍රන්ථ කතුවරයගේ / විචාරකයාගේ මැදිහත්වීමත් සමඟ මේ තත්වය සෑහෙන්න වෙනස් වුණා. ඒ ඔහුගේ ‘Screenplay: The Foundation of Screenwriting’ (1979) කියන පොත එළි දැක්වීමත් සමඟ.( අද වෙනකොට තිර රචනා කලාව ගැන පොත් සිය ගාණක් දකින්න පුළුවන්. නමුත් ඒ සියල්ලන්ගේ ම මුදුන් මුල හැටියට ‘සිඩ් ෆීල්ඩ්’ ගේ ව්‍යායාමය හදුන්වන්න පුළුවන්.)  ඔහුගේ අදහස් ගැන තව ඉස්සරහට කයිවාරුවක් ගහමු. නමුත් මෙතෙන්දී තිර රචනාවක් කියන්නේ මොකද්ද කියලා බලනකොට ඔහුගේ අදහස විමසීම වැදගත්, සිඩ් ෆීල්ඩ් ට අනුව තිර රචනාවක් යනු; 

Story told with pictures, in dialogue and description, and placed within the context of dramatic structure.” Screenplay: The Foundation of Screenwriting by Syd Field


Syd Field’s books on Screenplay writing

මේ කියන එකේ සරල සිංහල පරිවර්තනය බැලුවොත් තිර රචනයක් කියන්නේ, රූප මගින් කියනු ලබන කතාන්දරයක්, ඒ වගේම සංවාද සහ තවත් විස්තරකිරීම් සහිතව නාට්‍යමය ආකෘතියක් තුළ බහාලනු ලැබූවක්. ‘සිඩ් ෆීල්ඩ්’ ගේ මේ අදහසින් තිර රචනය පිළිබඳව ගොඩක් දේවල් කියවෙනවා. පළවෙනි එක තමයි දැන් ඔයා ලියන්න යන්නේ නවකතාවක් හෝ කෙටි කතාවක් නෙමේ කියන එක. ඔයා ලියන්න යන්නේ තිර රචනයක්.ඒ කියන්නේ මේක අන්තිමට මිනිස්සු බලන්නේ මොකක් හරි තිරයක් (Screen) ඉදිරියටවෙලා. ඒ කියන්නේ ඒ බලන මිනිස්සු ඉස්සරහ තියෙන්න ඕන රූප. මොනවද? රූප!



මේ තමයි පළවෙනි කොන්දේසිය. තිර රචකයෙක් නිතරම තමන්ගේ කතාව හිතන්න ඕන රූප වලින්. සිනමාවේ භාෂාව තමයි රූප භාෂාව (Visual language). අනිත් හැම දෙයක්ම තියෙන්නෙ රූපයට උදව් කරන්න. ඒ කියන්නේ දෙබස්, සංගීතය සහ ශීර්ෂ( Titles) වගේ ඒවා ගේන්නේ රූපෙන් විතරක් තවදුරටත් යමක් විස්තර කරගන්න බැරිවුණොත් විතරයි. හැම තැනටම දෙබස් ඔබපු චිත්‍රපටි අපිට එපා වෙන්නේ ඒකයි. ඒ නිසා රූප වලින් කතාවක් කියන්න තමයි මුලින්ම පුරුදු කරන්න ඕන. නමුත් මේ කියන්නේ දෙබස් සහ අනෙකුත් අංග අනවශ්‍යයි කියන එකනම් නෙමේ.


03. තිර රචනය ලියනකොට වර්තමාන කාලයෙන් ලියන්න ඕන.

පිටපතක් ලියන්න ඕන ‘වර්තමාන කාලයෙන්'(Present tense). ඒ මොකද? ඒකට හේතුව ප්‍රේක්ෂකයා තමන්ගේ තිරය ඉදිරියේ බලන් ඉන්නේ මේ දැන් වෙන සිදුවීමක් දිහා. චරිතයක් තමන්ගේ අතීතයේ සිදුවීමක් විස්තර කරනවා වෙන්න පුළුවන්.ඒත් ඒක ප්‍රේක්ෂකයා ඉස්සරහා මැවෙන්නේ මේ දැන් වෙන සිදුවීමක් විදියට. ඒ නිසා වර්තමාන කාලයෙන් තිර රචනය ලියන එක වැදගත්.



04. භාෂාව සරල වෙන්න ඕන.

අපි මුලින්ම තිර රචනාවක් ලියන්න යනකොට කරගන්න අවුලක් තමයි පරිසරය ගැන, මිනිසුන්ගේ අභ්‍යන්තර සිතුවිලි ගැන උපමා උපමේයන් ඇසුරින් දීර්ඝ විස්තර කිරීම් කරන්න යන එක. ඒ වගේම සම්භාව්‍ය භාෂා ශෛලීන්ට අනුව ලියන්න හදන එක. උදාහරණයක් බලමු.

රත්වූ යවටක් මෙන් රක්ත වර්ණ කිරනෙන් බැබලෙමින් සදෙව් ලොවට අධිපති සක් දෙව් සේ සූර්යා සැදෑ අහසින් නික්මුණේය. ඔහුගේ බැල්මෙන් මුව දෝවා ගත් ඇය සියලු සතුනට මෛත්‍රී කරමින් ගෙට වැදුණාය.

දැන් මේ වාක්‍ය දෙක තිර රචනයකට ගැලපෙන්නැත්තේ ඇයි? මේ වාක්‍ය දෙක බැලූ බැල්මට නවකතාවකට හෝ කෙටි කතාවකට ගැලපෙන බව නම් කියන්න පුළුවන්. ඒත් තිර රචනයකදී ප්‍රශ්න කීපයක් එනවා. පළවෙනි එක අතීත කාලයෙන් රචනා කරල තියෙන එක. අනිත් එක අනවශ්‍ය උපමා උපමේයන් සහ රූපක භාවිතය. මොකද ඒවා වාක්‍යයක් විදියට ලිව්වට රූප ගත කරන්නෙ කොහොමද කියල හිතල නෑ. “ඇය සියලු සතුනට මෛත්‍රී කරමින් ගෙට වැදුණාය”. ඇය ගෙට ඇතුලුවෙන බව පෙන්වීමට හැකිය. නමුත් ඇය ‘සියලු සතුනට මෛත්‍රී කරමින්’ ගෙට ඇතුළුවෙනබව පෙන්වන්නේ කොහොමද? සූර්‍යයා ‘සදෙව් ලොවට අධිපති සක් දෙව්දු වගෙද, නැද්ද’ කියන එක මෙතෙන්දී වැදගත් නෑ. මේවා තිර රචනයට අනවශ්‍ය විස්තර කිරීම්. එහෙනම් මේ උදාහරණය නිවැරදි කරල බලමු.

ඉර බැස යයි. ඇය ඒ දෙස මඳ වෙලාවක් බලා සිට ගෙට ඇතුළු වෙයි.

දැන් මෙතන රූප දෙකක් තියෙන බව ඔබට බැලූ බැල්මටම පේනවා ඇති. ඒ වගේ ඔයා ලියන තිර රචනය බැලූ බැල්මටම රූප ගොන්නක් වෙන්න ඕන. සරල වෙන්න ඕන. කෙනෙක්ට කියවපු ගමන් මේ මොකද්ද කියන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. නමුත් මේකෙන් කියවෙන්නේ නෑ මේක කාර්මික පිටපතක්(Technical script)වගේ රළු යමක් වෙන්න ඕන කියලා. ඇත්තටම තිර පිටපතේ මේ අවස්තාව හදුන්වන්නේ ම සාහිත්‍ය පිටපත විදියට. එහෙමනම් නිෂ්පාදක, අධ්‍යක්ෂක සහ නළු නිළියන්ට ඔයාගේ තිර පිටපත රසවත්ව කියවන්න පුළුවන් වෙන්නත් ඕන.


05. අධ්‍යක්ෂවරයා ගේ පරිකල්පන ලෝකය වසා නොදැමිය යුතුයි.

අධ්‍යක්ෂවරයාට තිර රචනය චිත්‍රපටියක් බවට පත් කිරීමේදී ඔහුගේ (අධ්‍යක්ෂවරයාගේ) පරිකල්පන ලෝකයේ දොර වසා නොදමන්න තිර රචකයා වගබලා ගන්න ඕන. ඒ කිව්වේ? ඒ කිව්වේ තිර රචනය ඇතුළේ යමක් විස්තර කරනකොට නවකාතාවක වගේ දේවල් සවිස්තර කරන්න ගියොත්, නළුවන් නිළියන් රගපාන්න ඕන කොහොමද කියන එක විස්තර කරන්න ගියොත්, කැමරා කෝණ සහ රූප විස්තර කරන්න ගියොත් අධ්‍යක්ෂවරයාට එතනින් එහාට හිතන්න බැරි වෙනවා. ඔහු තිර රචකයා මවන ලෝකයට කොටු වෙනවා. අන්තිමට තිර රචනයට වඩා වැඩි දෙයක් අධ්‍යක්ෂවරයා අතින් සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා දේවල් සරලව කෙටියෙන් පැහැදිලි කරනවනම් හොදයි. එතකොට තිර රචනය රූපයට නගනකොට ඒක වැඩි දියුණු කරන්න ඕන කොහොමද කියන ඒක අධ්‍යක්ෂවරයා බලාගනියි.( ලංකාවේදී නම් මේ තත්වය සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන්)


දැනට අපිට මේ කෙටි හැදින්වීම ප්‍රමාණවත්. ඉදිරියට නැවත නැවතත් තිර රචනය පිළිබඳව අපි දීර්ඝව කතා කරනවා. ඒත් එක්කම කියන්න ඕන තිර රචනයක් කරන්න යන්න කලින් ලෝකයේ මෙතෙක් කෙරුණු හොද තිර රචනා හොයාගෙන කියවන එක ඉතා හොඳ පුරුද්දක්. සාමන්‍යයෙන් හොලිවුඩ් නිර්මාණ බොහොමයක තිර රචනා Google කරලා ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ලංකාවේ නිර්මාණය කෙරුණ චිත්‍රපටිවලත් ටෙලි නාට්‍යවලත් තිර පිටපත් මුද්‍රණය වෙලා තියෙනවා. ඒ අතර කඩුල්ල, පාර දිගේ, පිටගම්කාරයෝ ආදී පිටපත් සුවිශේෂයි. ඔයා තිර පිටපතක් ලියන්න යනවනම් අනිවාර්යයෙන් මේවා හොයාගෙන කියවන්න බලන්න.


එහෙනම්, ඊළග ලිපි වලින් චිත්‍රපටියකට සුදුසු කතාවක් හදාගන්නේ කොහොමද කියලා බලමු!

Next Articles 

01. කතාවක් සඳහා කිසියම් අදහසක් / අත්දැකීමක් සොයා ගන්නේ කොහොමද? 
02. සරල අදහසක් / අත්දැකීමක් නිශ්චිත නාට්‍යමය රාමුවකට ගොනු කරගන්නේ කොහොමද?
03. කිසියම් නිර්මාණයක් මගින් අපි කියන්නේ මොනවද?


1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 1.00 out of 5)
Loading...

Avatar

18 Replies to “07. තිර රචනාවක් කියන්නේ මොකද්ද? (How to write a film script – Sinhala)”

  1. හැම ලිපියක්ම කියෙව්වා සර්..බොහොම සරලව ලියලා තියනවා.දිගටම බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තුතියි.

  2. Tv series script එකක් ලියන්නේ කොහොමද කියලා article එකක් දාන්නකෝ

  3. Tv script එකක් ලියන්නේ කොහොමද කියලා කියන්නකෝ සර්

  4. සිංහල තිරපිටපතක් හොයාගන්න තැනක් තියෙනවා ද කියන්නකෝ සර්

    1. බොහෝ සිංහල චිත්‍රපට සහ ටෙලි නාට්‍යවල තිරනාටක මුද්‍රණයෙන් එළි දක්වා තිබෙනවා. ගොඩගේ ,සරසවි ආදී ප්‍රධාන පොත් අලෙවිසල්වල බලන්න.මෑතක පළ වූ සංහිද මුද්‍රණත් තියෙනවා.
      කොළඹ මරදාන පොත් සාප්පු වල පොඩි රවුමක් ගියොත් අනිවාර්යෙන්ම හොයාගන්න පුළුවන්.

  5. මමත් සර් දැනට පිටපතක් ලියල තියෙනවා අඩුපාඩු හැදුවට පස්සේ ඒ්ක ෆිල්ම් ඒකකට ගන්න කාවද සම්බන්ධ කර ගන්න ඔනේ

    1. ඔබේ පිටපත දිග චිත්‍රපටයක් නම්, මට හිතෙන හොඳම දේ තමයි රොහාන්, අත්දැකීම් සහිත සිනමාකරුවෙක් හෝ නාට්‍යකරුවෙක් සමඟ ඔබේ පිටපත පිළිබඳව සාකච්ඡා කරන එක.
      ඔබේ පිටපත කෙටි චිත්‍රපටයක් සඳහා නම්, ඒ ඒ කොටසට දක්ෂ මිතුරු පිරිසක් එක් කරගෙන කැමරාවක් හොයාගෙන නැත්නම් ජංගම දුරකථනයෙන් හරි වැඩේ කරන්න.

  6. සර් බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට කාලය වෙන් කිරීම ගැන පුලුවන්නම් මට කෙනෙක් හදුන්වලා දෙන්න සර්.

      1. ස්තූතියි සර් මගේ FB name රොහාන් කෝකිල. සර්ගේ නම දාන්න මම කථා කරන්නම්

Reply | ඔබේ අදහස්