Posted on

මේ දවස්වල ගෙදර ඉන්න නිසා ගොඩක් අය මොනවාහරි නිර්මාණාත්මක යමක් ලියන්න කියන්න උත්සාහ කරමින් ඇති. කෙනෙක් නව කතාවක්, කෙටි කතාවක් ලියන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. කෙනෙක් නාට්‍යයක් කරන්න හිතන් ඉන්නවා වෙන්න පුළුවන්. කෙනෙක් කෙටි හෝ දිගු චිත්‍රපටයක් කරන්න හිතමින් ඉන්න පුළුවන්. මේ කාට වුණත් මේ ලිපිය කියවන එකෙන් මොනවාහරි විදියක උදව්වක් වේවි කියල හිතනවා. ඉතින් මේ කවුරුත් මුලින් ම යමක් ලියන්න යනකොට මූණ දෙන්න වෙන ලොකුම ලොකු ගැටලුවක් ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ.

මොකද්ද මම මගේ චිත්‍රපටියෙන් කියන්නෙ? මොකද්ද ඒකේ කතාව? මට හොඳ කතාවක් නෑ. මට හොඳ කතාවක් හදාගන්න තේරෙන්නේ නෑ.

චිත්‍රපටියක් හෝ වෙන ඕනම නිර්මාණාත්මක යමක් ලියන්න යනකොට මේ වගේ දහසක් ප්‍රශ්න, ඔබත් මමත් මුහුණ දීලා ඇති. හොදයි එහෙනම් අපි බලමු හොඳ කතාවක් හදා ගන්නේ කොහොමද කියලා. මේක තමයි මේ ලිපියේ මාතෘකාව. ඒ අනුව මේ ලිපිය කොටස් තුනක් යටතේ ඉදිරියට රචනා කරන්න බලාපොරොත්තු වෙනවා.

01. කතාවක් සඳහා කිසියම් අදහසක් / අත්දැකීමක් සොයා ගන්නේ කොහොමද? ( Idea or Concept)
02. සරල අදහසක් / අත්දැකීමක් නිශ්චිත නාට්‍යමය රාමුවකට ගොනු කරගන්නේ කොහොමද? ( The Premise or The Subject)
03. කිසියම් නිර්මාණයක් මගින් අපි කියන්නේ මොනවද? ( Theme or Vision) 

පළවෙනි සහ දෙවෙනි මාතෘකා වලින් කතාවක් ගොතා ගන්නේ කොහොමද කියන එක ගැන කතා කරනවා. ඒ කියන්නේ කතාවේ මූලික සංකල්ප සහ ආකෘතිය ගැන(Concept and Structure). තුන්වෙනි මතෘකාවෙන්කිසියම් කතාවක හරය ගැන එහෙමත් නැත්නම් ඒකේ සන්දර්භය තුළින් මතු කෙරෙන දර්ශනය ගැන කතා කරන්න බලාපොරොත්ත් වෙනවා.


01. කතාවක් සඳහා කිසියම් අදහසක් / අත්දැකීමක් සොයා ගන්නේ කොහොමද? ( Idea or Concept)


ඉස්සෙල්ලාම අපිට ඕන මොකක් හරි අදහසක්. ඒක මොකක් වුණත් කමක් නෑ. ඒක කොයි තරම් ගොන් වුණත්, ඒක කොයි තරම් දුරට ඔයාගේ මෝඩකම ප්‍රදර්ශනය කළත් කමක් නෑ. ඒක කොයිතරම් පට්ට ගහල හම ගිය එකක් වුණත් කමක් නෑ. ලෝකේ තියෙන මාරම මාර කතාව ඔයා කරන්න යන්න ඕන නෑ. ඒ වගේම ඔයා පළවෙනියෙන්ම කරන චිත්‍රපටිය ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටියට වෙන්න ඕනත් නෑ. ඒ නිසා ලෝකේ තියෙන ඉස්තරම් ම කතාව ඔයාගේ ඉස්සරහට වැටෙනකල් ඉන්න එපා. ඉස්සෙල්ලාම මොකක් හරි කතා බීජයක් පැළ කරගන්නයි බලන්න ඕන.මේක හොඳ අභ්‍යාසයක් විදියට සලකන්න. හරි දැන් ඒක කරගන්නේ කොහොමද බලමු.

හොඳ අදහසක් / අත්දැකීමක් පාදා ගන්න ප්‍රයෝජනවත් මාවත් 05ක් ගැන ජේ. ටී වෙලිකොව්ස්කි (J.T.Velikovsky) නම් ශාස්ත්‍රඥයා පෙන්වා දෙනවා.


01. එදිනෙදා ජීවිතයේ අවස්තාවන් – Everyday life in general 

මේකෙන් අදහස් කෙරෙන්නේ ඔයා මුහුණ දුන් කිසියම් සැබෑ අත්දැකීමක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ පවුලේ කෙනෙක්,මිතුරෙක්, අසල්වැසියෙක්,නෑදෑයෙක්, ඔයා දන්න කියන වෙන ඕනෑම කෙනෙක් මුහුණ දුන්න සැබෑ අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා කාගෙන් හරි අහල දැනගත්ත කතාවක්, අදහසක් වෙන්න පුළුවන්. ප්‍රංශුවා ටෘෆෝ ගේ ‘The 400 Blows'(1959), සොෆියා කොපෝලාගේ ‘Lost in Translation’ (2003) සහ රිචඩ් ලින්ක්ලේටර් ගේ ‘Boyhood’ (2014) යන චිත්‍රපට, අධ්‍යක්ෂවරයාගේම ජීවිත අත්දැකීම් ඇසුරෙන් නිර්මාණය කළ චිත්‍රපටවලට උදාහරණ කීපයකි.



ඒ වගේම මේ යටතේ එදිනෙදා ජීවිතයේ අපිට මුණගැහෙන ඕනෑම දෙයක් කතාවක් බවට හරවගන්න පුළුවන්. උදාහරණයකට ‘Un Chien Andalou’ (An Andalusian Dog – 1929) නම් චිත්‍රපටය ලුවී බුනුවෙල් ගේ පළමු චිත්‍රපටයයි. එම චිත්‍රපටය එහි තිර රචකයන් වූ ලුවී බුනුවෙල් සහ සැල්වදෝර් ඩාලි දුටු සිහින මුල් කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ‘Dog Day Afternoon’ (1975) චිත්‍රපටයට පාදක වෙන්නේ බැංකු මංකොල්ලයක් පිළිබඳ ලියූ පුවත් පත් ලිපියක්. ‘Dunkirk’ (2017) කියන්නේ දෙවන ලෝක යුද්ධයේදී සිදු වූ සැබෑ සිදුවීම් පාදක කරගෙන නිර්මාණය කරන ලද චිත්‍රපටයක්. මේ විතරක් නෙමේ සින්දුවක්, නැටුමක්, ක්‍රීඩාවක්, උත්සවයක් ආදී එදිනෙදා ජීවිතයේ අපිට අහන්න දකින්න ලැබෙන ඕනෑම සංසිද්ධියක් පදනම් කරගෙන අපිට කතාන්දරයකට මොකක් හරි අදහසක් ගලපගන්න බැරි කමක් නෑ.



02. තෝරාගත් කිසියම් ශානරයක් පදනම් කරගෙන – A preferred genre

ශානරයක්(Genre) යන්න ඉදිරියේදී වෙනම ලිපියකින් සාකච්ඡා කිරීමට නියමිතව තිබුණත් ඔයා දැනටම චිත්‍රපට ශානර පිළිබඳව කිසියම් අදහසක් ඇතිව ඉන්න බව හිතන්න පුළුවන්. ඔව්, ශානර කියල අපි සිංහලෙන් ව්‍යවහාර කරන Film Genres ගණනාවක් තියෙනවා. ඒ අතර Action, Adventure, Comedy, Crime, Drama, Fantasy, Historical, Horror, Mystery, Romance, Science fiction, Thriller, Western ආදිය ජනප්‍රිය ශානර ලෙස හදුන්වන්න පුළුවන්. ශානරයක් කියන්නේ හුදු චිත්‍රපට වර්ගීකරණ සංකල්පයක් නෙමේ. ශානරයක් කියන්නේ දෙයක් ප්‍රකාශ කරන විදියක්. ඒ වගේම ශානරයක්, ලෝකය දිහා බලන එක් කෝණයක් කියලත් කියන්න පුළුවන්. ශානර අධ්‍යයනය කියන්නේ අද වෙනකොට ලෝකයේ වෙනම විෂයක් විදියටයි ගණන් ගැනෙන්නේ. ඉතින් මුලින්ම තමන් කැමති ශානරයක් තෝරගෙන ඊට සරිලන කතාවක් නිර්මාණය කරගන්න එක තවත් එක ප්‍රවේශයක්. මොකද ශානරයක් කියන්නේම කතාවකට අදාළ අංගෝපාංග සහිත සංකල්පයක්. හැබැයි මේ ක්‍රමේට යන්න නම් ශානර පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕන.



03. ප්‍රතිරූපයක් පාදක කොටගෙන – An image

මේකෙන් අදහස් කරන්නේ අපි දන්න කියන චරිතයක් අධ්‍යයනය කරලා, එම චරිතය පාදක කරගනිමින් කතාන්දරයක් ගොඩ නැංවීම. ඒ වර්ගයේ චිත්‍රපට නම් අපි ඕනෑ තරම් දැකලා තියෙනවානේ. හැබැයි මෙතෙන්දී එම චරිතය වීරයා වෙන්නත් පුළුවන් දුෂ්ටයා වෙන්නත් පුළුවන්. අනික මෙතෙන්දි ප්‍රතිරූපයක් කිව්වාම සුප්‍රසිද්ධ චරිතයක් වෙන්න ඕන නෑ. අපි ගොඩනගන චරිතය අපේ මව පියා වෙන්න පුළුවන්. නැත්නම් ගමේ මනුස්සයාගේ සිට ජනාධිපති දක්වා ඕනෑම මනුස්සයෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔහු හෝ ඇය ඉතිහාස චරිතයක් වෙන්නත් පුළුවන්.



04. තේමාවක් පදනම් කරගෙන – A theme

අපි කතාවක් පවත්වන්න යනවනම් ඒකට නිශ්චිත විෂයක් යටතේ කරුණු ගොනු කරනවා. ඒ වගේ චිත්‍රපටියක් නිර්මාණය කරන කොටත් සමස්ථ චිත්‍රපටය පුරාවටම ගලා ගෙන යන නිශ්චිත අදහසක් හෝ අදහස් කීපයක් ගොඩනගන්න පුළුවන්. ඒවා කිසියම් විනොදාස්වාදාත්මක, ආත්මීය හෝ විරෝධාත්මක තේමවාන් වෙන්න පුළුවන්. ඒ වගේම ඒවායේ කිසියම් උපදේශාත්මක ස්වභාවයක් තියෙන්න පුළුවන්, එහෙම නොවන්නත් පුළුවන්. තේමාව කතාවේ මූලික අදහස හෝ හරය නියෝජනය කරනවා කියලා කියන්න පුළුවන්. මේ උදාහරණ කීපය බලන්න. ‘සත්‍ය පරාජය කළ නොහැක’, ‘යුද්ධය නිසරුයි.’ ‘පවුල’, ‘ගෙදර වගේ වෙන තැනක් ලොව කොහෙද’, ‘පළිගැනීම’, ‘සත්‍ය ආදරය’, ‘සත්‍ය කුමක්ද’, ‘මිතුරුදම’, ‘ජීවිතය යනු කුමක්ද’, ‘මනුෂ්‍යයා සහ තාක්ෂණය’, ‘කැපකිරීම’, ‘මනුෂ්‍යත්වය’, ‘යක්ෂයා සහ දෙවියා’, ‘මරණය’, ‘නොපසුබට උත්සාහය’, ‘හේතුව සහ ඵලය’, ‘දෛවය’, ‘සාධාරණත්වය’, ‘දාරක සෙනෙහස’, ‘සහෝදරත්වය’, ‘පරිසරය සහ මිනිසා’, ‘නිදහස’, ‘බලය’, ‘අනන්‍යතාව’, ‘අභිමානය’, ‘විශ්වාසය’, ආදී තේමාවන් සිය දහස් ගණනක් පෙන්වා දිය හැකිය. දැන් අපිට පැහැදිලි වෙන්න ඕන අපිට හොඳ කතාවක් නැති වුණත් අපිට මොකද්ද කියන්න ඕන කියන එක හරියටම පැහැදිලි කරගෙන හිටියොත්, එතනින් කතාවක් හදාගන්න පටන් ගන්න පුළුවන් කියලා. පහළ තියෙන චිත්‍රපට තුනටම පළිගැනීම කියන තේමාව ඇතුළත් වෙලා තියෙනවා. නමුත් ඒවා එකිනෙකින් වෙනස් වෙන විදිය බලන්න.



05. අනුවර්තනය – An adaptation

මෙතෙන්දී නවකතාවක්, කෙටි කතාවක්,කවියක්, ජන කතාවක්, ආගමික කතාවක්, උපදේශ කතාවක් හෝ වෙනත් ඕනෑම සාහිත්‍යමය ලියැවිල්ලක්, එහෙමත් නැත්නම් නාට්‍යයක්, බැලේ එකක්, ඔපෙරාවක් වගේ වෙනත් ප්‍රාසාංගික කෘතියක් වුණත් සිනමාවට ගැලපෙන විදියට හදා ගන්න පුළුවන්. මේක ලේසියි වගේ පෙනුනට මේක තමයි කරන්න අමාරුම දේ. මොකද හොඳ සාහිත්‍යමය නිර්මාණයක් හරි ප්‍රාසාංගික නිර්මාණයක් හරි මේ වෙනකොට රසිකයා අතරට ගිහින් ඉවරයි. ඔවුන්ගේ ඔලුවල ඒ ඒ චරිත නිර්මාණය වෙලා තියෙන විදියක් තියෙනවා. ඉතින් එවැනි තත්වයක් යටතේ විශේෂයෙන්ම සාහිත්‍ය කෘතියක් සිනමාවට ගේනවා කියන්නේ අභියෝගාත්මක වැඩක්. විරාගය නවකතාව චිත්‍රපටයට නැගීමේදී එය කෙතරම් අභියෝගාත්මක කර්‍යක් වූවාද යන්න තිස්ස අබේසේකරගේ මේ වාක්‍ය කීපයෙන් පැහැදිලි වෙනවා.

“විරාගය නවකතාව රූපගත කළ නොහැකි යැයි සිනමා පඬුවෝ කීහ. ඉක්බිති එය රූප ගත වූ විට චිත්‍රපටයක් වශයෙන් එය සති දෙකකට වඩා ප්‍රදර්ශනය නොවනු ඇතැයි සිනමා කර්මාන්තයේ නියැළී සිටි සමහරුන් අනාවැකි පළ කළෝය. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නවකතාවක් ඇසුරින් හොඳ චිත්‍රපට විනා පොදු ජනයාට ගෝචර වන්නා වූ චිත්‍රපට බිහි කළ නොහැකි යැයි ප්‍රවීණයෝ කීහ. ඒ සියල්ල බොරු කරමින් “විරාගය” චිත්‍රපටය නැවත නැවතත් නැරඹූ දස දහස් ගණන් සිනමා රසිකයන්ට මගේ බැතිබර උපහාරයයි මේ.”

ඉතින් සිංහල සිනමාවේ ඉතිහාසය පුරාවටම මෙවැනි සිනමාත්මක අනුවර්තන ඕනෑ තරම් දකින්න පුළුවන්. ඒවා ඒ අදාළ සාහිත්‍ය කෘතියේ රසය අතික්‍රමණය කළාද නැත්නම් ඒ තරමට ළං වෙන්න බැරි වුණාද කියන එක සිනමා කෘතියට පරිබාහිර කතන්දරයක්. නමුත් සාහිත්‍ය කෘතියක් සිනමාවට අනුවර්තනය කරනවනම් නිර්මාණකරුවාට ඒ අභියෝගයට නිතැතින්ම මූණ දෙන්න නම් සිද්ධ වෙනවා.


විරාගය (1987) අධ්‍යක්ෂණය තිස්ස අබේසේකර

නැවතත් මාතෘකාව මතක් කළොත් මේ ලිපියෙන් අපි කතා කළේ “කතාවක් සඳහා කිසියම් අදහසක් / අත්දැකීමක් සොයා ගන්නේ කොහොමද?” කියන එක ගැන. ඉතින් ඒ වෙනුවෙන් අපිට කල්පනා කරන්න පුළුවන් ක්‍රම 05ක් ගැන දැන් අපි කතා කළා. මීට වඩා තව ක්‍රම ඕනෑ තරම් තියෙන්න පුළුවන්. නමුත් දැනට මේ මාර්ග 05 වුණත් කෙනෙකුට හොඳ අලෝකයක් සපයනවා.

ඉතින් මොන යම් විදියකින් හරි කල්පනා කරල බලලා ‘කතා බීජයක්’, ‘පොඩි අදහසක්’ ඔලුවට දාගත්තානම් දැනට ඇති. ඊටපස්සේ  ඔයා හදා ගත්ත අදහස හරියටම නාට්‍යමය රාමුවකට ගොනු කරගන්නේ කොහොමද කියන එක ගැනත්, කතාන්දරයක් තුළින් කතා කරන්නේ මොනවා ගැනද කියන එකත් ඊළඟ ලිපියෙන් කතා කරමු. මේ ලිපි කීපය එකට එකක් සම්බන්ධ නිසා ඒවාත් අනිවාර්යෙන්ම ඉදිරියේදී කියවන්න කියලා ආරාධනා කරනවා. ජය! 


1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 4.50 out of 5)
Loading...
Avatar

Reply | ඔබේ අදහස්