Posted on

02. සරල අදහසක් / අත්දැකීමක් නිශ්චිත නාට්යමය රාමුවකට ගොනු කරගන්නේ කොහොමද?


Art without craft is simply self-expression. Craft without art is predictable and by-the-book. But the two together? That’s where great films come from.

Linda Seger – Making a good script great

කලින් ලිපිය (කතා හදමු – Creating a story | Part 01) කියෙව්වානම් ඔයාට කතාන්දරයකට සුදුසු අදහසක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා යම්කිසි අදහසක් දැන් ඇති. ඒ වගේම ඔයාට කතන්දරේකට සුදුසු පොඩි කතා බීජයකුත් මේ වෙනකොට තියෙන්න පුළුවන්.

කතාවකට මොකක්හරි අදහසක් ඔලුවට ආවා කියෙන්නේ ඔයාගේ නිදන කාමරයේ මීයෙක් ඉන්නවා වගේ වැඩක්. ඔයා දන්නවා කාමරේ ඇතුළේ මීයෙක් ඉන්නවා කියලා, හැබැයි අල්ලගන්න බෑ. කොහෙද ඉන්නේ කියලා හරියටම හිතාගන්න බෑ. එහෙන් මෙහෙන් සද්ද කරනවා, වද දෙනවා, නමුත් අල්ලන්න ගියාම අල්ලගන්න බෑ. ඒ නිසාම ඔයාට නිදා ගන්නත් බෑ. ඒත් කලබල වෙන්න එපා, ඕක තමයි හැටි. ‘Making a good script great’ කෘතිය රචනා කළ ‘ලින්ඩා සේග’ (Linda Seger) එයාගේ පොතේ මෙහෙම කියනවා.

As with any other art form, writing a script begins with a certain degree of chaos. Ideas are half-baked. Storylines can bog down at any point. Characters might seem inconsistent, one-dimensional, too predictable, or too much like a character you’ve seen a hundred times before. You don’t know yet where you’re going and how you’re going to get there.

Linda Seger – Making a good script great (03rd Edition. 2010)

“වෙනත් ඕනෑම කලා මාධ්‍යයක වගේම , පිටපතක් ලිවීම ආරම්භ වන්නේ යම් තරමක අවුල් ජාලයකිනි. අදහස් තාම හරියට තැම්බී නැත. කතාව හරියට ගලා යන්නේ නැත. ඕනෑම විටක ගිලෙන්න, හිරවෙන්න පුළුවන්. ඒ වගේම කතාවේ චරිත හරිම අසංගතයි, හරිම පැතලියි, ඒ චරිත ඉදිරියට කුමක් කරයිද යන්න ක්ෂණික ව අනුමාන කළ හැකිය. ඒ වගේ චරිත සිය ගාණක් දැනටම අපි දැකලා තියෙන්නත් පුළුවන්. ඉතින් ඔබ කොහෙද යන්නේ, කොහොමද යන්නේ, කොහෙටද යන්නේ මේ කිසිවක් ගැන තවම පැහැදිලි අදහසක් නෑ.”


මේ සංවාද දෙක බලන්න.  

කොරිඩෝවක් දිගේ ඉදිරියට යන ගුරුවරයාට ශිෂ්‍යාවක් මුණගෙහෙනවා.

සර්, මට චිත්‍රපටියකට පොඩි කතාවක් තියෙනවා. මම ඒක කරන්න හිතාගෙන ඉන්නේ.

හොදයිනේ..ඉතින් මොකද්ද ඔයාගේ කතාව?

ඒක..මේ ..මෙහෙමයි..කතාවක් කියන්නේ තාම හරියටම නෑ හරිද!

හරි. ඉතින්?

ඉතින්..ඒකේ මෙහෙමයි..එක ගෑණු ළමයෙක් ඉන්නවා…එයා ගොඩක් දුකෙන් ඉන්නේ..එයා ගොඩක් දුප්පත් හරිද!

හරි.

ඉතින් එයාගේ බෝයි ෆ්රෙන්ඩ් එහෙමත් එයාව මග අරිනවා. එයාගේ අම්මයි තාත්තයි දෙන්නම නෑ. එයා ළමා නිවාසෙක තමයි හැදෙන්නේ.

හරි.

ඉතින් එයා ගොඩක් දුකෙන් තමයි ඉන්නේ… එයාගේ බෝයි එයාට කතා කරන්නේ නෑ, බලන්නේ නෑ, ඒත් එයා මාර විදියට අර බෝයිට ආදරෙයි…ඉතින් ඒ ගර්ල් මාර විදියට ‘suffer’ කරනවා.

හරි දැන් ඕකේ අන්තිමට මොකද වෙන්නේ?

අනේ.. මම තාම ඒකේ අන්තිමට මොකද වෙන්නේ කියලා හිතලා නෑ.

හ්ම්ම්..

කොහමද ඒ කතාව?

නරක නෑ.

ඒකේ අන්තිමට ඒ ගෑණු ළමයා මැරුණොත් හොඳයි ද?


ගුරුවරයාට කැන්ටිම අසලදී ශිෂ්‍යයෙක් මුණ ගැහෙනවා.  

සර්’ව කාලෙක ඉදලා හම්බෙන්න හිටියේ.  

ඒ මොකද?

මට පොඩි අයිඩියා එකක් තියෙනවා. එකෙන් පොඩි වැඩක් කරන්න බැලුවේ.

ඒ කිව්වේ? ෆිල්ම් එකක් වගේ ද ?

ඔව් …එහෙම තමයි හිතුවේ.

ඉතින් මොකද්ද ඔයාගේ කතාව.

මෙහෙමයි.. දැන් ඔය..රදළ සමාජයේ නශ්ටාවශේෂවලින් ඇතිවුණ සමකාලීන ධනපති සමාජය පංති ප්‍රතීඝතයන් විනාශ කරල නෑනේ..දැන් ලෙනින්ට අනුව…ට්‍රොට්ස්කි ගේ …ලැකානියානු…ජිජැක්…ෆ්රොයිඩ්..ඩෙරීඩා..ට අනුව ඕක තමයි අන්තිමට සිද්ද වෙලා තියෙන්නේ.

හරී..ඔයා දැන් මොකද්ද කියන්න යන්නේ?

මම දැන් ඔය කිව්වේ. ඒක තමයි මට කියන්න ඕන.

හ්ම්ම්…

කොහොමද ඒක?

නරක නෑ.


මේ දෙන්නාගේම ඔලුවල යම් අදහසක් තියෙනවා. මේ එකක්වත් නරක නෑ. හැබැයි හොදත් නෑ. ඒ කියන්නේ මේ දෙන්නගේම කාමරවල මීයෝ ඉන්නවා. ඒත් දෙන්නටම තාම හරියටම මීයා අල්ලගන්න බැරි වෙලා තියෙන එක තමයි ප්‍රශ්නේ. පළවෙනි කෙනාට පොඩි කතාවක් තියෙනවා ඒත් දර්ශනයක් නෑ. ඒකයි එයා අහන්නේ අන්තිමට ගෑණු ළමයා මැරුණොත් හොඳ ද කියලා. දෙවෙනියට ‘විසිරුණු දාර්ශනික අදහසක්’ තියෙනවා. ඒත් කතාවක් නෑ. දෙන්නගේම කාමරවල මීයෝ ඉන්න බව පේනවා. ඉතින් මේ මීයා හරියටම අල්ලගන්නේ කොහොමද කියලා පියවරෙන් පියවර සාකච්ඡා කරලා බලමු.


  1. මූලික කතා බීජය (Basic Idea) සංවර්ධනය කිරීම.

What do you need to write a screenplay? An idea, of course, but you can’t sit down to write a script with just an idea in mind. An idea, while essential, is nothing more than a vague notion. It has no detail, no depth, and no dimension. No, you need more than just an idea to start writing a screenplay.

Syd field – Screenplay (1979)

මෙතෙන සිඩ් ෆීල්ඩ් පෙන්වා දෙන විදියට අපිට එක පාරටම නිකම්ම නිකම් අදහසක් ඔලුවේ තියාගෙන තිර පිටපත(Screenplay) ලියන්න පටන් ගන්න බෑ. ඒ කියන්නේ ඔයාගේ ඔලුවට අදහසක් ආවාට පස්සේ, එකපාරටම ඒකෙන් ලොකු කතාන්දරයක්(Story) හදන්න යන්න මහන්සි වෙන්න එපා. මුලින්ම කරන්නේ ඔලුවට ආපු මුල්ම අදහස(Idea) නෝට් බුක් එකක කටුවට සටහන් කරගන්න එක. ඊට පස්සේ අර මුල් අදහස ඔලුව ඇතුළේ වැඩෙන්න දෙන්න. ඔලුවට එන හැම අදහසක්ම කටු සටහන් හෝ රූප සටහන් විදියට අර නෝට් බුක් එකේ සටහන් කරගන්න. (නැවතත් කියන්නේ ඔයා නෝට් බුක් එකක් නම් දිගටම පවත්වාගෙන යන්න ඕනමයි. මහ රෑ නින්දෙන් එන අදහසක් වුණත් දඩ බඩගාල නැගිටල කටු ගාලා තියන්න ඕන. නැත්නම් රත්තරන් වටින අදහස් මඩේ ගිලුනා වගේ ආයේ ගොඩ ගන්න බෑ. පස්සේ කණගාටු වෙලා වැඩක් නෑ.) සිඩ් ෆීල්ඩ් මේකට කියන්නේ කතා විෂය හදුනා ගැනීම කියලා.



2. කතා විෂය හදුනා ගැනීම – Know your Subject.

A subject is defined as an action and a character. An action is what the story is about, and a character is who the story is about.

Syd field – Screenplay (1979)

සිඩ් ෆීල්ඩ් අදහස් කරන විදියට කතා විෂය කියලා හදුන්වන්නේ ක්‍රියාවන් සහ චරිත. ක්‍රියාවක් කියලා හදුන්වන්නේ මේ කතාව මොනවා ගැනද කියන එක. චරිතය කියල හදුන්වන්නේ කතාව කවුරු ගැනද කියන එක.

මේක තව දුරටත් පැහැදිලි කරගන්න යනකොට ඉස්සෙල්ලාම කල්පනා කරන්න ඕන ඔයාගේ මූලික අදහසට අනුව ඒ කතාවේ ඉන්න ප්‍රධාන චරිතය කවුද කියන එක. ටයිටැනික් චිත්‍රපටය ගතහොත් එහි ප්‍රධාන චරිතය කවුද? ජැක් ද? රෝස් ද? එහි ප්‍රධාන චරිතය රෝස්. අපි බලන් ඉන්නේ රෝස් ගේ ජීවිත කතාව. ජැක් කියන්නේ ඒ ජීවිතයට ඇතුළුවෙලා ගිය එක චරිතයක්.

ටයිටැනික් චිත්‍රපටයේ මූලික ක්‍රියාව වෙන්නේ මුහුදු පතුලේ සැඟවී ගිය ටයිටැනික් නැවේ සුන්බුන් අතර ඇතැයි සැලකෙන දුර්ලභ වූ දියමන්ති මාලය සොයා යෑමයි.  නමුත් චිත්‍රපටය පුරාවට අපට මුණගස්වනු ලබන්නේ දාහත් වියැති රෝස්ගේ පළමු පංතියේ ජීවිතය ගලා ගිය හැටිය. මේක තමයි ටයිටැනික් නැවේ කතා විෂය.

Citizen Kane චිත්‍රපටයේ මූලික ක්‍රියාව වෙන්නේ ‘Rosebud’ කියන වචනයේ අර්ථය සොයා යන ගවේෂණය යි. එහිදී අපිට මහා ධන කුවේර චාර්ල්ස් ෆෝස්ටර් කේන්ගේ ජීවිතය එළි දරව් වීමට පටන් ගනී.

Children of Heaven චිත්‍රපටයේ මූලික ක්‍රියාව වෙන්නේ නැති වූ කුඩා රෝස පැහැ සපත්තු ජෝඩුවක් සොයා යෑම පිළිබද චාරිකාවයි. නමුත් අපිට චිත්‍රපටය පුරාවට මුණ ගැහෙන්නේ අලී නම් කුඩා දරුවාගේ අධිෂ්ඨානශීලී ජීවින චරිතය යි.  



ඔයාගේ කතාවේ විෂය මෙන්න මේ විදියට වාක්‍ය කීපයකින් සටහන් කරන්න පුළුවන්.

ඉෂාන්, වචන අන්ධතාවය (dyslexia) නම් දුර්ලභ රෝගයෙන් පීඩා විඳී. ඒ නිසාම ඔහු පාසලේ දුර්වල ළමයෙකු ලෙස ගුරුවරුන් සහ ළමුන් සලකයි. ඉෂාන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කිරීම සඳහා ඔහුගේ දෙමාපියන් ඔහුව නිවසින් ඈත පාසලක නේවාසිකව නතර කරයි. එහිදී ඉෂාන් ට සාම්ප්‍රදායික නොවන ගුරුවරයෙකු වන රාම් ශංකර් නිකුම් මුණ ගැසේ. එහිදී ඉෂාන්ගේ රෝගය නිරීක්ෂණය කරන රාම් බොහෝ බාධක මැද ඉෂාන්ගේ සැඟවුණු දක්ෂතා මතුකර ඔහුව ජයග්‍රාහී සිසුවෙකු බවට ඔසවා තබයි.


තව දුරටත් කතා විෂය (The Subject) විස්තර කරන ‘සිඩ් ෆීල්ඩ්’ එය මේ අකාරයට බෙදා දක්වනවා.  


දැන් ක්‍රියාව කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒ තමයි භෞතික ක්‍රියාවලිය (Physical Actions) සහ චිත්තවේගී ක්‍රියාවලිය( Emotianal Actions). භෞතික ක්‍රියාවලිය තමයි අපේ ඇස් ඉදිරියේ සිදුවන සිදුවීම් දාමය. ටයිටැනික් චිත්‍රපටියේ දියමන්ති මාලය සොයා යෑම සහ ටයිටැනික් නැවේ රෝස්ගේ  චාරිකාව තමයි භෞතිකව සිදුවෙන ක්‍රියා දාමය. චිත්තවේගී ක්‍රියාවලිය කියන්නේ භෞතික ක්‍රියා දාමය අතරතුර කතාවේ චරිත වල සිදුවන අභ්‍යන්තර සිතුවිලි වල වෙනස් වීම. රෝස් ටයිටැනික් නැවට නගින විට තවකෙකුගේ රූකඩයක් වී හමාරයි. ඇයට තම ජීවිතය පිළිබඳව ඇත්තේ අසීමිත කලකිරීමක්. ඒ නිසාම ඇය තම ජීවිතය නැති කර ගන්නට උත්සාහ කරනවා. නමුත් චිත්‍රපටය අවසානයේ ඇය තම මරණයට ඉඩ නොදී ජීවත් වෙන්න තීරණය කරනවා. රෝස්, ආදරය සහ ජීවින අත්දැකීම් අතින් පරිණත වීම තමයි චිත්‍රපටියේ හමුවෙන චිත්තවේගී ක්‍රියාදාමය.

Please come back!

ඊළගට චරිතය කොටස් දෙකක් යටතේ අදුනාගන්න පුළුවන්. ඒ තමයි චරිතයකට ඇති මූලික අරමුණ  හදුනා ගැනීම (Define the need) සහ ඒ අරමුණට ගමන් කිරීමට ඔහුට හෝ ඇයට ඇති බාධා අදුනගැනීම(Action is the character). මෙන්න මෙතනින් තමයි ඔයාගේ කතාවේ නාට්‍යමය අවස්ථාව නැතහොත් නාට්‍යයේ මූලික ගැටුම ගොඩ නැගෙන්නේ. මතකනේ බර්නාඩ් ෂෝ (George Bernard Shaw) ගේ ප්‍රසිද්ධ කියමන. “No conflict, no drama”. ඒ කියන්නේ ගැටුමක් නැති තැන නාට්‍යයක් නෑ. එහෙමනම් ඔයාගේ චරිතයට තියෙන මූලික අරමුණත්, ඒ අරමුණට යන්න තියෙන බාධාවනුත් අපි ග්‍රහණය කර ගන්න ඕන. ඒ බාධාවන්ට මූණ දෙන කොට ඔහු හෝ ඇය ගන්න තීන්දු තීරණ මත තමයි එම චරිතය ගොඩනැගෙන්නේ. ක්‍රියාව චරිතය බවට පත් වෙන්නේ එහෙමයි (Action is the character).

Action is the character

රෝස්ට ජැක් සමඟ ලේසියෙන් විවාහ වෙලා ළමයි හදලා ඉන්න පුළුවන් වුණා නම් අපි කවුරුත් ටයිටැනික් චිත්‍රපටය උනන්දුවෙන් බලන එකක් නෑ. ඒත් ඒ ආදාරය ලබා ගන්න රෝස්ට තිබුණ බාධා නිසාවන් තමයි අපිට ඒ ආදරයට වටිනාකමක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ අපි බලන බොහෝ චිත්‍රපටවල ප්‍රධාන චරිතය, ඔහුට හෝ ඇයට අවශ්‍ය අරමුණ කරා ගමන් කරන්නේ දහසක් බාධක මැදින් කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒ බාධා වලට මූණ දෙන විදියට තමයි, එයා මොන වගේ කෙනෙක්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ.    

ඉතින් මේ සිඩ් ෆීල්ඩ් කියන විදියට කතා විෂය  හදුනා ගන්නවා කියන්නේ ක්ෂණිකව කරන්න පුළුවන්, ලේසි වැඩක් නෙමේ. මේකට ටික කාලයක් ගත කරන්න වෙනවා. ඒ නිසාම සිඩ් ෆීල්ඩ් කියනවා ඔබට එන සෑම අදහසක්ම නිදහසේ සටහන් කරලා තියාගන්න කියලා.

ආයෙත් මතක් කරන්නම්, ‘කතා විෂය’(The subject) වාක්‍ය කීපයකින් ලියලා පෙන්වන්න පුළුවන් වෙන්න ඕන.


3. කතාවක් / පිටපතක් කොටස් හතරකට බෙදා දක්වන්න පුළුවන්.

ඉතින් මේ විදියට මූලික අදහස තව දියුණු කරගන්න පුළුවන් ආකාරයක් ගැන ලින්ඩා සේග (Linda Seger) තම ‘Making a good script great’ කියන කෘතියේ පෙන්වා දෙනවා. ඇය, තිර පිටපතක් ප්‍රධාන කොටස් 04කට බෙදා දක්වනවා. ඒ තමයි කතාවේ සිද්ධි දාමය, චරිත, තේමාව, රූප සහ දෙබස් (the storylines, the characters, the underlying theme or idea, the images, and the dialogue). මේ මූලික කොටස් ටික ගැන කල්පනා කිරීම ඔයාගේ කතා බීජය තව සංවර්ධනය කරගන්න හේතු වෙනවා. ඒ වගේම කතා විෂය හදුන ගන්න පහසු කරනවා.  

කෙනෙකුට තමන්ගේ චරිත (Characters) ගැන මුලින්ම කල්පනා කරන්න පුළුවන්. තව කෙනෙක් කතාවේ වැදගත් සිදුවීම් (Storylines)  පරිකල්පනය කරන්න පටන් ගන්න පුළුවන්. කෙනෙක් තමන්ගේ තේමාව, දර්ශනය ගවේෂණය කිරීමෙන් පටන් ගන්න පුළුවන්. මතකනේ අර ශිෂ්‍යාව පටන් අරගෙන තියෙන්නේ තමාගේ චරිත ගවේෂණය කරන්න. අර ශිෂ්‍යයා පටන් අරන් තියෙන්නේ තමන්ගේ තේමාව නැත්නම් කතාවේ හරය ගවේෂණය කරන්න.

ඒත් ප්‍රායෝගිකව සිද්ධවෙන්නේ එකක් කල්පනා කළාට  පස්සේ අනෙක ගැන හිතන එක නෙමේ. ඔය හැම එකක් ගැනම පිළිවෙලක් නැතුව සිතුවිලි හටගන්න පටන් ගන්නවා. අපිට අපේ චිත්‍රප්ටියේ රූප මැවෙන්න ගන්නවා, දෙබස් ඇහෙනවා. චරිත වලට ටික ටික පණ එනවා. ඉතින් එතකොට අර නෝට් බුක් එක අත පොවන මානයේ තබා ගැනීම වැදගත්. හිතට එන හැම සිතුවිල්ලක්ම පිළිවෙලක් ඇතුව හෝ නැතුව ඒ පොතේ සටහන් කරගන්න.

ලෝරා ෂෙල්හාර්ඩ් (Laura Schellhardt) තම ‘Screenwriting for Dummies’ යන කෘතියේ කතාවක මූලික කොටස් 04ක් ඇති බව පෙන්වා දෙනවා. ඇය එය, ‘the four important P’s of story’ කියලා තමයි හදුන්වන්නේ. මේවා ගැනත් කල්පනා කරන්න පුළුවන්. (ලෝරා පෙන්වාදෙන කොටස් හතර සහ ලින්ඩා ඉහත පෙන්වාදුන් කොටස් හතරයි සෑහෙන දුරට සමානයි.) ඉතින් මොනවද මේ ලෝරා පෙන්වාදෙන හතර වර්ගයේ වටිනා ‘P’?

People – ඔබගේ කතාවේ සිටින චරිත මොනවාද? පාරේ සිටින යාචකයාගේ සිට මාළිගයේ ඉන්න කුමාරයා දක්වා ඔයාගේ කතාවට අයිති චරිත ගැන හිතන්න.

Place – ඔයාගේ කතාව සිද්ධවෙන තැන කොහෙද ?ඒක එක තැනක සිද්ධ වෙන එකක්ද? නැත්නම් දිගින් දිගට තැන් ගොඩකට මාරුවෙමින් යනවද?

Picture – මේ කතාව ගැන කල්පනා කරන කොට ඔයාගේ ඔලුවට එන රූප මොනවද ? වර්ණ, හැඩතල, චලන ඒවා මොනවගේද? සමස්තයක් විදියට ගත්තාම ඔයාගේ කතාව මොන වගේ පෙනෙයිද?

Plot-  සරලවම කිව්වොත් ඔයාගේ කතාවේ වැදගත්ම අවස්තා ටික මොනවද? ඒ කියන්නෙ එක වැදගත් අවස්ථාවක් ගලවලා අයින් කළොත්, අපිට මුළු කතාවම අහිමි වෙන ජාතියේ අවස්තා. Plot එක ගැන අපිට තව ටිකක් වැඩි දුර කතා බහ කරලා තේරුම් ගන්න වෙනවා.

ඉතින් ඔන්න ඔය කොටස් යටතේ කල්පනා කරනකොට ඉබේටම අපේ කතා බීජය පැළ වෙන්න ගන්නවා. ක්‍රමයෙන් ඔලුව ඇතුළේ චරිත දුවන්න පටන් ගන්නවා. ඒ ගොල්ල ඔයත් එක්ක කතා කරන්න ගන්නවා. තර්ක කරනවා. සමහරු ඔයාව අතහැරලා යනවා. සමහරු අලුතෙන් එකතුවෙනවා. ඔයාගේ තේමාව ගැන දැනුම වැඩිවෙනවා.

හැබැයි මේ එකක්වත් නිකම් වෙන්නේ නෑ. ඔයාට ඔයාගේ තේමාවට අදාළව කරුණු ගවේෂණය කරන්න වෙනවා. චරිත ගැන සොයා බලන්න වෙනවා. මිනිස්සු හම්බෙලා කතා කරන්න වෙනවා. ප්‍රවෘත්ති, පුවත් පත් වාර්තා හොයාගෙන යන්න වෙනවා.ඉතිහාසය හදාරන්න වෙනවා. සංචාරය කරන්න වෙනවා. වැඩි වැඩියෙන් පොත පත හොයගෙන කියවන්න වෙනවා. විවිධ සංස්කෘතීන් ගැන ඉගෙන ගන්න වෙනවා. මේ ඔක්කොමත් එක්ක තමයි අර කතා බීජය වර්ධනය වෙන්න පටන් ගන්නේ. ඉතින් මේ වගේ අධ්‍යයනයකට Background Study එකක් කියලා කියන්න පුළුවන්.

මේ ඔක්කෝම අස්සේ අර නෝට් බුක් එක ක්‍රමයෙන් පිරෙනවා. ඒත් තාම ඔයාගේ කතාව පිළිවෙලකට කොල වලට අරගෙන නෑ. ඒක ඇත්තටම තාම තියෙන්නේ ලොකු කුරුටු බලියක් වගේ.


4. කතා වස්තුව (plot) සකස් කර ගැනීම.

‘කතාන්දරය’ සහ ‘කතා වස්තුව’ අතර වෙනස කුමක්ද?  (Story vs. Plot)


Plot එක හදා ගන්න නම් ඉස්සෙල්ලාම අපිට තේරුම් ගන්න වෙනවා Story එක කියන්නේ මොකද්ද, Plot එක කියන්නේ මොකද්ද කියලා වෙන වෙනම.  ඒක පැහැදිලි කරගන්න මේ උදාහරණය සලකා බලමු.  

ඔයාගේ හොඳම යාළුවා තාම එකපාරක්වත්  ඔයාගෙ ගෙදර ඇවිත් නෑ කියල හිතන්න. ඔයා අරාධාන කරනවා එයාට දවසක් ඔයාගේ ගෙදර දවල් කෑමකට එන්න කියලා. එතකොට අර යාළුවා කියනවා, මම කලින් ඇවිත් නැති නිසා මට ගෙදරට එන පාර කියන්න කියලා. එතකොට ඔයා ඔයාගේ යාළුවට පාර කියන්නේ කොහොමද? සරලවම මෙහෙම නේද?

බස් එකේ ඇවිල්ලා x කියන හන්දියෙන් බහින්න. X හන්දියේ ඉදලා Y හන්දිය පැත්තට මීටර් 150ක් විතර එන්න. එතකොට තියෙනවා ඔරලෝසු කණුවක්. ඒ කණුව ගාවින් වම් පැත්තට තියෙන කොන්ක්‍රීට් පාරට හැරෙන්න. ඒ පාරේ මීටර් 200ක් විතර එනකොට දකුණු අත පැත්තට පොඩි ගුරු පාරක් තියෙනවා. ඒ පාරේ දිගටම එනකොට හම්බෙන පළවෙනි වංගුව  නෙමේ දෙවෙනි වංගුව ගාවම වම් අත පැත්තේ තියෙන කොළ පාට ගේට්ටුවක් දාලා තියෙන්නේ අපේ ගෙදර.

Plot එක කියන්නේ මෙන්න මෙ වගේ. ඒක හරියට එක තැනක ඉදලා තවත් තැනකට යන්න තියෙන මාර්ග සිතියමක් වගේ. දැන් බලන්න මෙතන දීලා තියෙන එකදු Landmark එකක් / උපදේශයක් හරි මඟ හැරියොත් ඔයාගේ යාළුවාට ඔයාගේ ගෙදර එන්න බැරි වෙනවා. එහෙම වුණොත් එයාට යන්න වෙන්නේ වෙන කොහේ හරි. ඉතින් එතකොට plot එක කියන්නේ ඔන්න ඔය වගේ, ඔයාගේ කතාවේ මූලික මාර්ග සිතියම කියල සරලව කියන්න පුළුවන්. නමුත් plot එක කියන්නේ නිකම්ම නිකම් Outline එකක් හෝ Road Map එකක් නෙමේ.  ලෝරා ෂෙල්හාර්ඩ්  plot කියන සංකල්පය පැහැදිලි කරන්නේ මෙහෙම.

A plot can be defined as a series of actions, and an action can be defined as an event that causes something else to occur.  

Laura Schellhardt – Screenwriting for Dummies (2008)

Plot එකක් කියලා කියන්න පුළුවන් වෙන්නේ එකට බැදුණු ක්‍රියා මාලාවකට. ඒ වගේම මෙතන ක්‍රියාවක් කියන්නේ එකක් අනෙකට හේතුවෙන ක්‍රියාවන්. ලෝරා මෙතන්දී හොඳ උදාහරණයක් ගේනවා.

ඔයා ඔයාගේ තාත්තාගේ කාර් එක ඉල්ලගෙන ගමනක් යනවා. ඒක මෙතෙන්දී ක්‍රියාවක් විදියට සලකන්න බෑ. ක්‍රියාවක් වෙන්න නම්, ඔයාට කාර් එක අල්ලන්නවත් එපා කියලා තාත්තා ඔයාට උපදෙස් දීලා තියෙනකොට ඔයා හොරෙන් කාර් එක අරන් ගමනක් යනවා. දැන් මේක ක්‍රියාවක්. මොකද අපි අනිවාර්යෙන්ම දන්නවා ඔයා නැවත ගෙදර ආවට පස්සේ තාත්තාත් එක්ක වාදයක් ඇති වෙන බව. ඒ වගේ යම් සිද්ධියක් තවත් සිදුවීමකට හේතු වෙන ජාතියේ ක්‍රියා දාමයකට තමයි Plot එක කියල කියන්න පුළුවන් වෙන්නේ.

දැන් Plot කියන වචනයේ සාමාන්‍ය තේරුම වෙන්නේ කුමන්ත්‍රණය කියන අදහස. එහෙම බැලුවම එක සිදුවීමක් පාදක කරගෙන තව සිදුවීමක් උත්පාදනය කරන්න නම් එතන සිද්ධ වෙන්න ඕන ක්‍රියාව මොකද්ද කියන එක ඔයාට පරිකල්පනය කරන්න වෙනවා. ඒක රචකයා කරන එක්තරා කුමන්ත්‍රණයක්. ඒක තමයි අපි Plotting කියලා හදුන්වන්නේ.

Plot කියන සංකල්පය තවත් දීර්ඝව විස්තර කරන්න අවශ්‍ය වුවත් දැනට මේ ඇති. මේ පිළිබඳව වෙනම ලිපියක් ඉදිරියේදී පළ කරන්න බලාපොරොත්තු වෙනවා.


Story – කතාන්දරය

දැන් ඔයාගේ යාළුවා ඔයාගෙන් අහනවා ඊයේ ගෙදර යනකොට මොකද වුණේ කියලා. එතකොට ඔයා විස්තර කරනවා මෙහෙම.

ඊයේ x හංදියෙන් බහිනකොට මාර වැස්ස. ඊට පස්සේ ඔරලෝසු කණුව ගාවට දුවගෙන ගියා, එතන පොඩි ලෑලි කඩේ ගාව හිටියා අපේ පොඩි මාමාගේ පොඩි පුතා. කොල්ලා හොරාට සිගරට් එකක් බිබී හිටියේ. සිගරට් බීපු එක මම දැක්ක කියලා මිනිහට තේරුණා. මිනිහා දඩ බඩ ගාලා සිගරට් කොටේ වීසි කරලා මිනිහගේ කුඩෙන් මාව අපේ කොන්ක්‍රීට් පාර ගාවට දැම්මා. මිනිහා මට යන ගමන් කියනවා සිගරට් කතාව ගෙදරට කියන්න එපාලු. මං උට කිව්වා මට අනුන්ගේ දේවල් වැඩක් නෑ, ඒත් උඹ මාමාගේ නම්බුව රැකලා වැඩ කරපන් කියලා. කොන්ක්‍රීට් පාර ගාව සුමන නැන්දගේ කඩේට වෙලා පැය බාගයක් ඉන්න වුණා වැස්ස අඩු වෙනකල්. ඔන්න එතකොටම තාත්තා ආවා ලොකු ගෝනියක් කර ගහගෙන…


දැන් ඔය විස්තරය ඇතුලේ අර මාර්ග සිතියම තියෙනවා ඔයාට පේනවා නේද? ඒ වගේම ඒ මාර්ග සිතියමට වඩා වැඩි තොරතුරු තොගයකුත් දැන් එකතුවෙලා තියෙනවා. ඒ තොරතුරු වලින් තමයි මේ විස්තරය රසවත් වෙලා තියෙන්නේ. නැත්නම් ඒක නැවත මාර්ග සිතියමක් විතරයි. දැන් මේකට තමයි අපි Story එක නැත්නම් කතාන්දරය කියන්නේ.

මේ පොඩි කතාන්දරයේ තියෙන තොරතුරු මොනවද කියලා වෙන් කරලා බැලුවොත් ඔයාට පෙනේවි අර උඩ ලින්ඩා සහ ලෝරා පෙන්වා දෙන සමහර කොටස් මේකේ ඇතුළේ තියෙනවා කියලා. ඒ කියන්නේ, චරිත, ස්ථාන, සිද්ධි, තේමාව, රූප සහ දෙබස් වගේ ඒවා. ඒවා ඔක්කොම එකට ගැට ගහලා තියෙන ශක්තිමත් බැම්ම, නැත්නම් වියමන (weaving) තමයි Plot එක කියන්නේ.  


දැන් අපිට පැහැදිලි වෙන්න ඕන ශක්තිමත් plot එකක් නැතුව අපිට හොඳ Story එකක් ගැන හිතන්න බෑ කියන එක. අපිට අපේ කතාවට පැහැදිලි guide එකක් අවශ්‍යයයි. ඒ guide එක තමයි plot එක. නැත්නම් බොහෝ මෙගා ටෙලි නාට්‍ය වගේ ඔයාගේ කතාව එහේ මෙහේ දුවනවා, විසිරෙනවා.  

කතා බීජයක් ඔලුවට වැටුනට පස්සේ ඊළග දවසේ පුටුවක වාඩි වෙලා අපිට plot එක හදන්න බෑ. මොකද අර උඩින් පෙන්වලා දිල තියෙනවා වගේ කතා බීජය පැළ වෙන්න කිසියම් කාලයක් ගත වෙනවා. සමහර විට මාසයක් දෙකක් වෙන්න පුළුවන්. නැත්නම් අවුරුද්දක් දෙකක් වුණත් ගතවෙන්න පුළුවන්. හරියට කතා බීජය මුල් ඇද්දට පස්සේ තමයි අපිට plot එක කිසියම් පිළිවෙලකට පේන්න පටන් ගන්නේ. එතකොට අපිට පුළුවන් මුල, මැද සහ අග විදියට අපේ කතා වස්තුව නැත්නම් plot එක ගලපලා සකස් කර ගන්න. (මෙතෙන්දී අපි මෙච්චර කල් පවත්වාගෙන ආපු අපේ නෝට් බුක් එක ඕන වෙනවා.) මේ විස්තරය සාමාන්‍යයෙන් A4 ප්‍රමාණයේ පිටුවකට (තනි පැත්ත) හෝ දෙකකට ලඝු කරගන්න පුළුවන්නම් හොඳයි.


5. The Premise (පූර්ව සාධනය?) එක හදුනාගැනීම.

මේ වෙනකොට ඔයා ඔයාගේ කතාව ගැන සෑහෙන දුරකට දැනුවත්. චරිත, ක්‍රියාවන් සහ කතා වස්තුව ගැන දැන් ඔයාට පැහැදිලි අදහසක් තියෙනවා. ඒ නිසා ඔයාට පුළුවන් වෙන්න ඕන ඔයාගේ කතාව ඉතාම සංක්ෂිප්ත කරලා ඉදිරිපත් කරන්න. Premise එකෙන් කරන්නේ ඔයාගේ කතාව සංක්ෂිප්ත කරලා දක්වන එක. The Anatoy of Story කියන කෘතියේ ජෝන් ටෘබි (John Truby), Premise කියන එක විස්තර කරන්නේ මෙහෙම.

The premise is your story stated in one sentence. It is the simplest combination of character and plot and typically consists of some event that starts the action, some sense of the main character, and some sense of the outcome of the story.

John Truby- The Anatoy of Story (2007)

ටෘබිට අනුව Premise එකක් කියන්නේ ඔයාගේ කතාව තනි වාක්‍යයකින් ඉදිරිපත් කරන එකට. මේ තනි වාක්‍යය ඔයාගේ කතාවේ චරිත සහ කතා වස්තුවේ සංක්ෂිප්ත සංයෝගයක් කියලා කියන්න පුළුවන්. ඒක ඔයාගේ කතාවේ ප්‍රධාන චරිත, ප්‍රධාන සිදුවීම් සහ කතාවේ අවසාන ප්‍රතිඵලය පිළිබඳව ඉඟියක් සපයන්න ඕන.උදාහරණයකට ටයිටැනික් චිත්‍රපටයට Premise එකක් ලිව්වොත් කොහොම වේවිද කියල බලමු.   

දාහත් හැවිරිදි වංශවත් තරුණියක් ඛේදනීය ටයිටැනික් නෞකා චාරිකාව අතරතුර තරුණ දුගී සිත්තරෙකු හා ප්‍රේමයෙන් බැදේ.


Premisee එක ලියන එක ඉතාම දුෂ්කර කාර්‍යක්. මොකද ලොකු කතාන්දරයක් තනි වාක්‍යයකට හකුලා දක්වනවා කියන්නේ ඔයාට සෑහෙන්න හිතන්න වෙනවා. නමුත් ඒ දුෂ්කරතාවය ජය ගෙන ඔයාට ඔයාගේ කතාවට Premise එකක් ලියා ගන්න පුළුවන්නම් ඔයාට ඔයාගේ කතාව පිළිබද දැඩි විශ්වාසයක් තියන්න පුළුවන් වෙනවා. සමහර රචකයන් කතා බීජය ඔලුවට පැමිණි වෙලාවේ පටන් Premise එක ලියලා පටන් ගන්න උත්සාහ කරනවා. සමහරු සමස්ථ කතා වස්තුව නිර්මාණය කර ගත්තාට පස්සේ Premise එක ලියන්න උත්සාහ කරනවා. ඉතින් අපිට මේ ඕනෑම අවස්ථාවක Premise එක ලියන්න උත්සාහ කරන්න පුළුවන්. නමුත් එකම දේ තිර පිටපත ලියන්න පටන් ගන්න කලින් ඔබ මේ සියලු දේ සූදානම් කරගෙන තබා ගත යුතුයි.


මෙතෙක් කතා කරපු අදහස් ටික සංක්ෂිප්ත කළහොත් පහත රූප සටහනේ ආකාරයට දක්වන්න පුළුවන්.


ඉතින් අපි මේ ලිපියෙන් සාකච්ඡාකළේ, අදහසක් / අත්දැකීමක් නිශ්චිත නාට්යමය රාමුවකට ගොනු කරගන්නේ කොහොමද කියන එක ගැන. අපි කිව්වා අදහසක් ඔලුවට ආවට පස්සේ ඒක නිකං  නිදන කාමරයේ මීයෙක් ඉන්නවා වගේ වැඩක් කියලා. මේ සාකච්ඡාවට පස්සේ ඔයාට ඔයාගේ කාමරයේ ඉන්න මීයා කොටු කරගන්න පහසු වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ දැන් ඔයාට කිසියම් සරල අදහසක් නිශ්චිත නාට්‍යමය රාමුවකට ගේන හැටි ගැන පැහැදිලි අදහසක් ලැබෙන්න ඇති. ඉතින් මේවා  ඔයාට කැමති විදියකට ඔයාට පහසු විදියකට යොදා ගන්න පුළුවන්. නිශ්චිතවම මේ මේ විදියට කරන්න කියලා කාටවත් කියන්න බෑ.

ඒ වගේම මම උඩදී ම  උපුටා දක්වලා තියෙන ලින්ඩා ගේ අදහස අනුව ශිල්පයෙන් තොර කලාව හුදු ආත්ම ප්‍රකාශනයක් පමණයි. ඒ වගේම කලාවෙන් තොර ශිල්පය අපූර්වත්වයක් නොමැති රාමු ගත අදහසක් විතරයි. අපි මෙතෙක් කතා කළේ කතාන්දර නිර්මාණයේ ශිල්ප ධර්මතා ගැන. ශිල්පය උගන්නන්න පුළුවන්, ඒත් කලාව උගන්වන්න බෑ. ඒක තම තමන් ප්‍රගුණ කළ යුතු වැඩක්. ඉතින් ශිල්පය හදාරණ ගමන් කලාව ප්‍රගුණ කරන එකත් කරන්න බලන්න.

ජය!  


1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...
Avatar

Reply | ඔබේ අදහස්