Posted on

03. කිසියම් නිර්මාණයක් මගින් අපි කියන්නේ මොනවද? ( Theme or Vision)


මහාචර්‍ය සුනන්ද මහේන්ද්‍ර එතුමාගේ ‘කතා කලාව’ පොතේ ප්‍රවේශය ගන්නේ මෙන්න මෙහෙම.

හැම කෙනෙකුටම කීමට කතාවක් ඇත යනුවෙන් ප්‍රචලිත කියමනක් පවතී. ඒ කියමන කෙසේ උපත ලදදැයි සිතාගැනීමට පහසුය. තමන් ලද අත්දැකීමක්, සියැසින් දුටු දෙයක්, කනින් ඇසූ යමක්, තමන් වෙතම නොතබා වෙනත් කෙනෙකුට පැවසීම සාමාන්‍ය මිනිස් ස්වභාවයක් බව වටහා ගත යුතුය. තමන්ගේ කතාව වෙනත් කෙනෙකුට අසන්නට සැලැස්වීමෙන් තමන්ටම කිසියම් සතුටක් අත්පත් කරගත හැකිය..

කතා කලාව. පි.11  


හොඳයි, ඔයා කතාවක් ලියන්න වාඩිවෙනවා. හිස් කොලයක් පෑනක්, පැන්සලක්, ලියන්න අවශ්‍ය හැමදේම මේසේ උඩ තියෙනවා. දැන් ඔයාට තියෙන්නේ ලියන්න. ඒත් ඇත්තටම ලියන්න පුළුවන්ද?  ඉහත උපුටුනයේ දැක්වෙන විදියට සමහර විට දැනටමත් ඔයාට කියන්න කතාවක් තියෙනවා වෙන්න පුළුවන්. ඒක ඔයාගේ අත්දැකීමක් වෙන්න පුළුවන් නැත්නම් ඔයා දැකපු දෙයක් අහපු දෙයක් වෙන්න පුළුවන්. ඒත් තවමත් ඔයාට කිසියම් සැකයක් තියෙනවා මේ කතාව ගැන. ඒක කිසියම් හිස්කමක්, නැත්නම් නොතේරෙන අඩුවක් වගේ හිතට දැනෙනවා. මොකද්ද මේ කතාවේ අඩු?  මොකද්ද මේ දැනෙන හිස්බව? ඇත්තටම මොකද්ද මේ කතාවේ තේරුම?

ඔයා කිසියම් දෙයක් අත්දුටු පමණින්, දෙයක් අහපු දැකපු පමණින්, ඒක ලියන්න තරම් හොඳ කතාවක් වෙනවද? ඔයාගේ හිතට නිරන්තර මේ ප්‍රශ්න ටික එනවා වෙන්න පුළුවන්. මේක ලියන්න තරම් හොඳ කතාවක්ද? ඇයි මේක මම ලියන්නේ? මේක චිත්‍රපටියක් විදියට ටිකට් එකක් මිලදී ගෙන මිනිස්සු බැලිය යුත්තේ ඇයි?  

මේ විදියට ප්‍රශ්න කරගෙන යනකොට අපිට තේරෙනවා කියන්ඩ කතාවක් තිබුණට විතරක් මදි, නිර්මාණකාරයෙක් විදියට මට ලෝකෙට ගෙනියන්න පණිවිඩයක් තියෙන්න ඕන කියන එක. නැත්නම් මට ලෝක දැක්මක් තියෙන්න ඕන. මනුස්සයා ගැන ජීවිතය ගැන මට තියෙන දැනුම අවබෝධය එළි දැක්වීමේ කැකෑරෙන ආසාවක් තියෙන්න ඕන කියන එක. මේ දැනුමෙන් තමයි ඔයාගේ කතාවට හරයක් එකතු වෙන්නේ. එහෙම නැත්නම් ඒක ගැමියන් දෙන්නෙක් ළිඳ ලගදී කතා කරන ආගිය තොරතුරක් බවට පත් වෙනවා.

එරික් එඩ්සන් (Eric Edson) ඔහුගේ වැඩමුළුවකදී ‘තේමාව’ කියන්නේ කතාවක ‘අර්ථය’ කියල හදුන්වලා දෙනවා. ඒ වගේම හැම කතාන්දරයකම තේමවක් ගැබ්වෙලා තියෙන බවත් කියනවා. ක්වීන්ටීන් ටැරන්ටිනෝ එයාගේ සාකච්ඡාවකදී ටෙරී ගිලියම්ව උපුටා දක්වමින් අධ්‍යක්ෂවරයකුට තමන්ගේ ‘දැක්ම’ කොයිතරම් වැදගත්ද කියන එක පෙන්වලා දෙනවා. ඇත්තටම ටැරන්ටිනෝ මෙතෙනදී අහන්නේ ‘මගේ ඔලුවේ තියෙන දැක්ම’ කොහොමද තිරය මතට ගේන්නේ කියන එක. ටැරන්ටිනෝට උත්තර දෙමින් ගිලියම් කියන්නේ “ඒක තිරය මතට ගේන එක ඔයාගේ කණ්ඩායමේ වැඩක්. ඔයාගේ කණ්ඩායමට ඉතා හොදින් ඔයාගේ දැක්ම පැහැදිලි කරන එකයි අධ්‍යක්ෂවරයා විදියට ඔයාගේ කාර්යභාරය”. මං හිතන්නේ ඒක රචනයටත් ඒ විදියටම අදාළයි. ඒ කියන්නේ ඔයාගේ දැක්ම මොකද්ද කියලා ඔයා ඔයාටම පැහැදිලි කරගෙන ඉන්න එක. ‘ඔයාගේ දැක්ම මොකද්ද’ කියන එක ඔයාටම පැහැදිලි නැත්නම් ඒක වෙන කෙනෙකුට පැහැදිලි කරන්නේ කොහොමද? මේ සාකච්ඡාවෙදීම ටැරන්ටිනෝ තමන්ව ම උදාහරණයට ගනිමින් තව දුරටත් පැහැදිලි කරමින් කියන්නේ තමන්ගේ දැක්ම දියුණු කරගන්න ඕන නම් තමා නිරන්තරයෙන් ශිෂ්‍යයෙක් විදියට සිනමාව කියන විෂය ඇතුළේ හැසිරෙන්න ඕන කියන එකයි. බලන්න ඕන, කියවන්න ඕන විචාරශීලී වෙන්න ඕන. ඉතින්, මේ හැම උදාහරණයකින්ම අපට පේන්නේ කතාවක පණිවිඩය, වෙනත් වචනවලින් කියනවනම් තේමාව, දැක්ම, හරය යන කාරණය, අපි කියන්න යන කතාවට කොයිතරම් දුරට වැදගත් ද කියන එක.


Quentin Tarantino On Making Movies

කෙනෙක් තර්ක කරන්න පුළුවන් කලාකරුවෙක් පණිවිඩකාරයෙක් වෙන්න ඕනද කියලා. නමුත් මෙතන පණිවිඩය කියලා මෙතනදි අදහස් කරන්නේ ‘කෝපි කඩේ’ ටෙලි නාට්‍යයේදී ‘කුරුං ගුරුං’ කතාවේ අග මුල පහැදිලි කරලා ‘ඕං කිව්වා’ කියලා කතාවේ අවසානයට ආදර්ශමත් වාක්‍යයක් කියන එක නෙමේ. එහෙම නැත්නම් පෝය ටෙලි නාට්‍යයක හරි නත්තල් ටෙලි නාට්‍යයක වගේ අගට බණ පදයක් හෝ ආගමික ප්‍රකාශයක් නිකුත් කරලා ඉවර කරන එකත් නෙමේ (එම නිර්මාණ උදාහරණයට අරගෙන තියෙන්නේ ඒ නිර්මාණ අවතක්සේරු කිරීමේ අදහසින් නොව, පැහැදිලි කිරීමේ පහසුව තකා බව සලකන්න. තමන්ගේ නිර්මාණය අවසානයේ කෙනෙකුට තමන් මේ නිර්මාණය කළේ මෙන්න මේ කාරණය උදෙසා කියලා කියන්න බැරි කමකුත් නෑ. සමහර චිත්‍රපට අවසානයේ එහෙම අග මුල ගලපලා සාධක ඉදිරිපත් කරලා තමන් කියපු කතාව සනාථ කරන අවස්ථාවනුත් ඕනෑ තරම් තියෙනවා.) ඒ වගේම මෙතන පණිවිඩය කියන අදහස ජනප්‍රිය සුචරිතවාදී අදහසින් ගන්නත් එපා. ඇත්තටම මේ කියන පණිවිඩය නැත්නම් තේමාව ටෙලි නාට්‍ය හෝ චිත්‍රපටිය අවසානයේ එය නරඹන ප්‍රේක්ෂකයාට ඉතුරු කරන්නේ පිළිතුරක් නෙමේ ගැටලුවක්. නිශ්චිත අවසානයක් වෙනුවට ඉදිරියට ගමන් කරන්න පුළුවන් තවත් මං මාවත් ගණනාවක්, පරම සත්‍ය වෙනුවට සත්‍ය යනු කුමක්ද කියා සිතන්න කරන බල කිරීමක්.   

Citizen Kane චිත්‍රපටය උදාහරණයට ගන්න. එහි චාල්ස් ෆෝස්ටර් කේන් නම් ධන කුවේරයාගේ ජීවිතය අපි ඉදිරියේ ප්‍රතිනිර්මාණය කරනවා. නමුත් කේන් කියන්නේ කවුද කියලා නැවත අපෙන් ඇහුවොත් අපිට තනි වාක්‍යයකින් කේන්ගේ ජීවිතය විස්තර කරන්න බැරි වේවි. Matrix චිත්‍රපටය බැලුවට පස්සේ අපි මේ ජීවත් වෙන ලෝකය ඇත්තටම යථාවක්ද ? නැත්නම් මායාවක්ද? කියන ප්‍රශ්නය අපිට එනවා. The Reader චිත්‍රපටිය බැලුවට පස්සේ සාක්ෂරතාව මානව සංවර්ධනය පිළිබඳ දර්ශකයක් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය පැන නගිනවා.



එහෙමනම් දැන් අපිට පැහැදිලියි නිර්මාණකරුවෙක් විදිහට කිසියම් කතාවක් නිශ්චිත දිශාවකට අරගෙන යන්න ඕන කියන එකත් ඒකට අපිට ලෝක අවබෝධයක් අවශ්‍යයයි කියන එක. සරලවම කිව්වොත් අපිට ප්‍රකාශ කරන්න දෙයක් තියෙන්න ඕන.

ඇත්තටම අපි කතන්දරයක් තුළින් කතා කරන්නේ මොනවා ගැනද? අපි කතාකරන්නේ මනුෂ්‍යයා ගැන. මනුෂ්‍ය ජීවිතය ගැන. සමහර විට ළමා කතාවක වගේ සත්තුන්ව චරිත විදියට භාවිතා කරලා, ගස් කොලන් ඇල දොළ කදු හෙල් චරිත බවට පත් කරගෙන මොන මොන දේවල් කිව්වත් ඒවා තුළ නැවත ගැබ් වෙලා තියෙන්නේ මනුෂ්‍ය හැසිරීම් රටාවන්. උදාහරණෙකට Wall E, Transformers, Toy Story, Ants, Finding Nemo, Cars, The Lion King, Spirited Away  වගේ චිත්‍රපටවල ඉන්න සත්තු, වාහන, රොබෝවරු, මනඃකල්පිත සතුන් සියල්ලෝම පොදුවේ මනුෂ්‍ය හැගීම් සහ ක්‍රියාවන් තමයි නිරූපණය කරන්නේ.



මහාචාර්‍ය චන්ද්‍රසිරි පල්ලියගුරු පරිවර්තනය කරන බෙලා බලාශ් ගේ ලිපියක පරිවර්තනයේ කොටසක් මෙසේය.

හැම කලාවක්ම නිරන්තරයෙන්ම කටයුතු කරන්නේ මිනිසා සමඟ ය. එය එසේ වන්නේ කලාව මිනිසා පිළිබඳ ප්‍රකාශනයක් මෙන්ම එයින් මිනිසා ද ඉදිරිපත් කෙරෙන බැවිනි. මාක්ස් සඳහන් කළ පරිදි හැම කලාවෙහිම මුල මිනිසාය. සමීප රූප රැගත් චිත්‍රපට රූප රාමුවල කුඩා දේවල් පිළිබඳ අප තුළ ඇති අනවබෝධය සහ අසංවේදී බව නැමැති කඩතුරාව ඉවත් කළ විට, වස්තූන් නියම මුහුණුවර පෙනෙන්නට පටන් ගන්නේය. එය තවමත් අපට පෙන්වන්නේ මිනිසා ය. වස්තූන්හී ප්‍රකාශනය ලෙස සැලකෙන්නේ ඒවා මත සංප්‍රේෂණය කළ මිනිස් ප්‍රකාශනයන් ය.වස්තූන් ධ්වනිත කරන්නේ අප තුළ ඇති අපමය. කලාව විද්‍යාත්මක දැනුමෙන් වෙනස් වන්නේ මේ නිසාය. අපි යම් යම් දේවල් මුහුණ දුන් විට, පුරාතනයන් කළාක් මෙන් මිනිසාගේ රූපයෙන් දෙවියන් නිර්මාණය කොට ඒවාට මිනිස් ආත්මය ආශ්වාස කරවමු.

චිත්‍රපට සිද්ධාන්ත සහ විචාර. පි.80-81


බර්ට්‍රන්ඩ් රසල් මනුෂ්‍ය ජීවිතයේ අරගල ත්‍රිත්වයක් පෙන්වා   දෙනවා. ඒ තමයි මනුෂ්‍යයාට තමා සමඟ තියෙන අරගලය (තමාට තමා සමඟ), අනෙකා සමඟ ඇති අරගලය සහ ස්වභාව ධර්මය සමඟ ඇති අරගලය විදියට. නිර්මාණකරනයේදී මනුෂ්‍ය ජීවිතය විනිවිදීම සම්බන්ධයෙන් මේ සම්බ්න්ධතා ත්‍රිත්වය පිළිබද අවබෝධයෙන් ඉන්න එක වැදගත්. සිනමා විචාරක ජයවිලාල් විලේගොඩ ගේ මේ වාක්‍ය බලන්න.  

ලෙස්ටර්ගේ චිත්‍රප්ටවල ප්‍රධාන ලක්ෂණය මානුෂික සම්බන්ධතා හා මිනිසුනුත්, පරිසරයත් සමඟ ඔවුන්ගේ ගැටුම් දෙස කැමරාවෙන් බලන්න දරණ උත්සාහයයි. 

ජයවිලාල් විලේගොඩගේ නොපළ ලිපි. පි.28


ජයවිලාල් විලේගොඩ ගේ අදහස් වල පදනම බර්ට්‍රන්ඩ් රසල් ගේ මිනිසාගේ අරගල ත්‍රිත්වය බව පැහැදිලියි. ඒ අදහසේ ගැබ් වෙලා තියෙන්නේ මානව කේන්ද්‍රීය දෘෂ්ටියක්. ඒ කියන්නේ මේ පරිසරය ඇතුළේ මිනිසා ප්‍රාධාන කොට අනෙක් දේවල් පිළිබද කෙරෙන පරිකල්පනයක්. ආචාර්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ද ඒ අරමුණෙන්ම තමන්ගේ සිනමා භාවිතය හැසිර වූවා විය හැකිය. සමහරවිට එහෙම නොවෙන්නත් පුළුවන්. කෙසේ හෝ ආචාර්‍ය සුනිල් විජේසිරිවර්ධනයන් පහදා දෙන ආකාරය අනුව මේ සම්බන්ධතා ත්‍රිත්වයේ දක්නට ලැබෙන්නේ එකිනෙක ජයලැබීම පිණිස සිදු කරන අරගලයක් නොව අන්තර්ක්‍රියාකාරීත්වයක්. අන්තර් සහ ගතික ස්වභාවයක්. නිර්මාණකරුවෙක් මේ අන්තර්ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීම සහ පද්ධතිගත දැනීම, අවබෝධය දියුණු කිරීමේ වටිනාකම ගැන ඔහු නොයෙක්වර පැහැදිලි කරනවා.  නමුත් අදටත් අපි දකින නිර්මාණ බොහෝමයක් තවමත් ලිබරල් මානවවාදී අර්තයක් ගත් මානව කේන්ද්‍රීය දෘෂ්ටියක සිරගත වුණ ඒවා කියල කියන්න පුළුවන්. (බලන්න – සමකාලීන සාහිත්‍ය විචාර සිද්ධාන්ත 01. ලිබරල් මානවවාදය. සමන් එම් කරියකරවන)  


අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයා සමාජවාදියෙක් වෙන්න පුළුවන්, ලිබරල්වාදියෙක් වෙන්න පුළුවන්, ස්ත්‍රීවාදියෙක් වෙන්න පුළුවන්, මාක්ස්වාදියෙක් වෙන්න පුළුවන්, ජාතිකවාදියෙක් වෙන්න පුළුවන්, අරාජිකවාදියෙක් වෙන්න පුළුවන්, ආගම්වාදියෙක් නැත්නම් ශූන්‍යවාදියෙක් හෝ වෙනත් ඕනෑම වාදියෙක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් කිසිම වාදියෙකු නොවී පිටින් බලන්නෙක් වෙන්නත් පුළුවන්. මෙතෙන්දී නිර්මාණකරුවෙක් විදියට ඔයාට වැදගත් වෙන්නේ ඔයා කොතන ද ඉන්නේ කියන එක, ඔයා විසින්ම අවබෝධ කරගන්න එක. මොකද ඔයාගේ නිර්මාණයට අලෝකය සපයන්නේ, ඔයාගේ නිර්මාණය මෙහෙයවන්නේ, ඔයාගේ චින්තනයට අනුව, නැත්නම් ඔයාගෙ දැක්මට අනුවයි. ඒක තමයි ඔයා හිස් කඩදාසිය මත සටහන් කරලා ලෝකය වෙත ගෙනියන පණිවිඩය. ඉතින් කතන්දරයක් ලියන්න යනකොට මම මොකද්ද ලෝකෙට කියන්න යන්නේ කියන එක, ඔයා විසින් ඔයාටම පැහැදිලි කරලා පටන් ගන්ඩ ඕන.


මූලාශ්‍ර

කෘතීන් 

කතා කලාව / සුනන්ද මහේන්ද්‍ර / සරසවි ප්‍රකාශකයෝ / 2014 (දෙවන මුද්‍රණය)
ජයවිලාල් විලේගොඩගේ නොපළ ලිපි / සංස්කරණය – සුනිල් මිහිඳුකුල / සරසවි ප්‍රාකශකයෝ / 1999
චිත්‍රපට සිද්ධාන්ත සහ විචාර / චන්ද්‍රසිරි පල්ලියගුරු / ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ / 2017 (තෙවන මුද්‍රණය)
සමකාලීන විචාර සිද්ධාන්ත 01. ලිබරල් මානවවාදය / සමන් එම්. කාරියකරවන / ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ / 2015
පුරවැසි මංපෙත් / සුනිල් විජේසිරිවර්ධන / FLICT / 2011

දේශන

‘සංස්කෘතික නුවණ’ දේශන මාලාව /  සුනිල් විජේසිරිවර්ධන / ශ්‍රී ලංකා පදනම් ආයතනය / ජනවාරි. 2019
‘Story Theme in Movies’ / Eric Edson / https://www.youtube.com/watch?v=aiAjRpg5CpM

සාකච්ඡා

‘Quentin Tarantino on Making Movie’/ https://www.youtube.com/watch?v=vXGUEjYCybA&t=11s

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 4.00 out of 5)
Loading...
Avatar

Reply | ඔබේ අදහස්