Posted on

කවරය – ප්‍රබාත් විජයන්තගේ 3D නිර්මාණයකි.  

මේ ලිපිය ලියන්න හේතු වෙන්නේ, මේ ටිකේ ෆේස් බුක් එක තුළ දැක්ක කදිම 3D නිර්මාණ කීපයක් ඇස ගැටීමෙන් හටගත්ත ආස්වාදය එළියට දාන්න. ඒ නිසා මේ ලිපිය ඒ ඒ නිර්මාණකරුවන් සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ඡා මත ලියැවුණු එකක් නෙමේ. ඔවුන්ගේ නිර්මාණ ගැන මට දැනුණ හැගුණ, හැගීම් ගැන ඉදිරිපත් කරන්න තමයි මේ කෙටි සටහන ලියන්නේ.

ඉතින් ඔවුන්ට දන්වලා ඔවුන්ගේ අවසරය මතයි මේ නිර්මාණ මෙතන පළ කෙරෙන්නේ. මේ සියලු නිර්මාණ වල සම්පූර්ණ අයිතිය ඒ මුල් අයිතිකරුවන්ගේ බවත් ඔවුන්ගේ අවසරයකින් තොරව මේවා වෙනත් තැනක පළ කිරීම හෝ භාවිතා කිරීම කිසිසේත්ම නොකළ යුතුයි කියන පණිවිඩය මතක් කරමින් ඉස්සරහට යමු.


Zsmith Creative | Sameen Gamage – සමීන් ගමගේ

මම දැක්ක විදියට ජීවීන් ත්‍රිමාණව(3D Creatures) මූර්තිමත් කරන්න (3D modeling) සමීන් දක්ෂයෙක්. ඒ වගේම ඒ ඒ ජීවින්ට අදාළ නිවැරදි අංග චලන, වර්ණ සහ චර්ම අනුරූපිකයන් (texture mapping) නිර්මාණය කරන්නත් සමීන්ට පුළුවන් වෙලා තියෙනවා.



ඔබේ ඇස බොහෝ සමීප කරලා මේ එක් එක් නිර්මාණ දිහා බැලුවොත් ඔබට පෙනෙයි එක් පුංචි අංගයක් කොයිතරම් හොඳට විස්තර කරලා තියෙනවාද කියන එක. තේරෙන බාසාවෙන් කිව්වොත් කොච්චර දුරට රූපයේ details මතු කරලා තියෙනවද කියන එක. ඒක තමයි හොඳ නිර්මාණකරුවෙක්ගේ මූලික ලක්ෂණය. අපි මතක් කරගත්තොත් ග්‍රීසියේ හෝ පුනරුද සමයේ මූර්තියක්, ඔබට පෙනෙයි ඒවා කොයිතරම් දුරට සවිස්තරව ඉදිරිපත් කරලා තියෙනවද කියන එක.  ඒ වගේම ඡායාරූප ශිල්පයේදීත් මේ හැකියාව අත්‍යවාශ්‍යයි. ඒ විතරක් නෙමේ තිර රචනාවේදී, අධ්‍යක්ෂණයේදී සහ රංගනයේදී චරිතයක් ගොඩනගන්නත් මේ detail කිරීම අත්‍යාවශ්‍යයි. එතකොටයි ඔබට සාර්තක චරිතයක් එළි දක්වන්න පුළුවන් වෙන්නේ.



මෙතන පළ කරන්නේ ඔහුගේ නිර්මාණ කිපයක් විතරයි. ඒ වගේම මෙතන පළවෙන රූපයන්ගේ ගුණාත්මකබාවයත් (Image Quality) අඩුයි.ඒවා නියමාකාරයට බලන්න සහ තව නිර්මාණ රසවිදින්න ඔහුගේ මේ නිර්මාණ පිටුවලට ගිහින් බලන්න.  > Artstation | Instagram


Bulletin Artwork | Harsha Kumara – හර්ෂ කුමාර 

හර්ෂ ගේ නිර්මාණයක් ඉස්සරහා එක දිගට පැය කීපයක් වාඩි වෙලා ඉන්න පුළුවන්. ඒ නිර්මාණ ඇතුළේ තියෙනවා කිසියම් තනිකමක්, හිඩැසක්, කාංසාවක්, බියක්. හරියටම වචන වලින් එළියට දාගන්න බැරි අධ්‍යාත්මික ගූඪත්වයක්. මේ සමහර නිර්මාණ ඇතුළේ බුදුන් වැඩ හිදිනවා. ඒ නිසා බෞද්ධ දර්ශනයේ පෙන්නුම් කෙරෙන සාංසාරික බියත් මේ ඩිජිටල් කලා කෘති ඇතුළේ ගැබ් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. මේ නිර්මාණ කොහොමද අපි හදුන්වන්නේ? මණෝභාවාත්මක ඩිජිටල් සිතුවම්? හෝ වෙනයම් සුදුසු නමක් ඔබට යෝජනා කරන්න පුළුවන් වෙයි.



ඒ වගේම අනාගතවාදී ප්‍රකාශන කලා කුලකය(Futuristic) වගේම අවමතාවාදී ප්‍රකාශන කුලකයෙනුත්(Minimalism) හර්ෂ ගේ මේ නිර්මාණවලට ජීවය ලැබිලා තියෙනවා කියලයි මට හිතෙන්නේ. මම මුලින් හිතුවේ මේවා නිර්මාණය කරන්නේ ද්විමාණ සහ ත්‍රිමාණ  එකතුවකින් කියලා. නමුත් හර්ෂ විස්තර කරපු විදියට මේ රූප Cinema 4D මෘදුකාංගය ඇසුරින් කරන සම්පූර්ණ ත්‍රිමාණ මූර්තිමත් කිරීමක්.



හර්ෂ ගේ තවත් එවැනි නිර්මාණ රාශියක් මෙතනින් බලන්න පුළුවන්. |> Bulletin Artwork 


Indula3dworks | Indula Jayasekara – ඉන්දුල ජයසේකර

ඓතිහාසික  උරුමයන්ට අනාගතවාදී හැඩයක් ගේන්න පුළුවන් සංකල්පික ඩිජිටල් සිත්තරෙක් තමයි ඉන්දුල ජයසේකර. ඔහුගේ ඩිජිටල් සිතුවම් නම් පහුගිය කාලේ සෑහෙන්න හුවමාරු වුණා.



ඉන්දුල ගේ මූලික විෂය හැටියට පෙන්නේ ත්‍රිමාණ ගෘහ නිර්මාණ සැලසුම්කරණය (3D Architectural Visualizing). ඔහු ඒ විෂය ඇතුළේ තියෙන සීමා මායිම් පුළුල් කරමින් අපි එදිනෙදා දකින ලෝකය ප්‍රතිනිර්මාණය කරන හැටි හරි අපූරුයි. ඉන්දුල ගේ පරිකල්පන ලෝකේ ඇතුළේ ඔහුට පුළුවන්  යාපහුව, සීගිරිය හෝ අනුරාධපුරය උරුමයන්ගේ ඓතිහාසික හැඩයන්  ඒ හැටියටම අරගෙන එහි අනාගතවාදී හැඩය මතු කරලා අපිට පෙන්වන්න,  එහෙම නැත්නම්  ඒවාට අද්භූත මායකාරී ස්වභාවයක් එකතු කරන්න, මනුෂ්‍ය නිර්මාණවල ප්‍රතාපවත් ගුණය  ඉස්මතු කරලා පෙන්වන්න.



කවුරු හරි කිව්වොත් මේ නිර්මාණවල තියෙන්නේ අපේ අතීත මුතුන් මිත්තන්ගේ සහ පිටසක්වල ජිවීන්ගේ සම්බන්ධයක් කියලා, මම ඒ ප්‍රකාශයට නම් එකඟ නෑ. මොකද එහෙම හිතුව ගමන් අතීත මිනිසුන් ගේ ශ්‍රමය සහ චින්තනය හෝදල දාලා කොහේවත් නැති ඒලියන්ස්ලාට සම්මාන හම්බෙනවා. ඒ නිසා මේ නිර්මාණ දිහා මම බලන්න කැමති අපේ අතීත පරම්පරාවල ශ්‍රමයේ සහ පරිකල්පනයේ දායදයක් විදියට. ඉන්දුලත් ඒ පරම්පරාවේ නූතන ප්‍රකාශකයෙක්. එහෙමත් නැත්නම් Sci-Fi හෝ Adventure වගේ ෂානරයක් ඇතුළේ ඉදන් අපිට මේ නිර්මාණ දිහා බලන්නත් පුළුවන්. 

ඉන්දුලගේ ඉතිරි නිර්මාණ බලන්න මේ සබැදිය වෙත  යන්න. |> Indula3dworks


 Prabath Wijayantha – ප්‍රබාත් විජයන්ත

අපේ පරම්පරාවේ හැමෝම වගේ ඇමරිකානු සුපිරි වීර චරිත වලට පෙම් බැන්ද උදවිය. පොඩිකාලේ ටීවී එකේ  කාටූන් සහ පස්සේ හොලිවුඩ් චිත්‍රපට බොහොමයක්  මේකට බලපෑවා. නමුත් ඒ චරිත වලට ළං   වෙන්නවත් පුළුවන් තරමට නිර්මාණ කරන්න පුළුවන්ද කියලා මගේ හිතේ සැකයක් තිබුණා. නමුත් අපිට කලින් පරම්පරාව අය ඒ වීර කාව්‍ය ගුණය විවිධ චිත්‍ර කතා පුවත්පත් ඇතුළේ විදලා තිබුණා. මං හිතන්නේ 90 දශකයෙන් විතර පස්සේ අපි නිර්මාණ කරණවා වෙනුවට  හම්බෙන දේවල් බලන්න විතරක් පුරුදු වුණා. එත් ඒ හැගීම අතුගෑවිලා ගියේ ප්‍රභාත්ගේ මේ ඩිජිටල් චිත්‍ර ටික දැක්කට පස්සේ.



ප්‍රභාත් කරන ෆෑන් ආර්ට් හරිම තාත්විකයි. ඔරිජිනල් එක මොකද්ද ෆෑන් ආර්ට් එක මොකද්ද කියලා හිතා ගන්න බැරි තරමට ඒවා නිර්මාණාත්මක අතින් පොහොසත්. ඒ වගේම ප්‍රභාත් ගේ මම දැක්ක හොඳම දේ තමයි ලංකාව ඇතුළේ දකින්න තියෙන දේවල් උපයෝගී කරගෙන කරලා තියෙන අත්හදා බැලීම්.



ඔබට කවදා හරි හිතිලා තියෙනවද බාසුන්නැහේ අංකල් කෙනෙක් සුපර් හීරෝ කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ප්‍රභාත් සුවීශේෂ වෙන්නෙ අන්න එතෙන්දී. ඔහුගේ නිර්මාණවල ඒ අත්හදාබැලීමේ ගුණය තියෙනවා. ඒ වගේම ඒවා සාර්තකයි කියලත් මට හිතෙනවා.

ප්‍රභාත්ගේ  ඉතිරි නිර්මාණ බලන්න මේ සබැදිය වෙත  යන්න. |> Artstation


Pasan Madusanka – පසන් මදුසංක

පසන් ගේ සුවිශේෂත්වය තමයි, 3D Modeling වලින් නොනැවතී ඒවා සජීවීකරණය කිරීම. 3D සජීවීකරණය මගින් කතාන්දරයක් කියනවා කියන්නේ ලේසි වැඩක් නෙමේ. එකක් තාක්ෂණය අතින් අපිට  තියෙන සීමාවන්. අනික මේ වගේ නිර්මාණ කරන්න ඒකට සුදුසු දැනුම කුසලතාවය තියෙන මිනිස්සු හොයාගන්න එක. අනික සල්ලි. ඉතින් මේ අභියෝග ඔක්කොටම මූණ දීලා පසන්ලා ත්‍රිමාණ චිත්‍රපට කරනවා.



පසන්ගේ කෙටි චිත්‍රපට තුනක් මම බැලුවා. ඉන් එකක් අනාගතයේ රොබෝවරු සහ මනුස්සයන් අතර තියෙන ගැටුම මුල් කරගෙන කරලා තියෙන්නේ. අනිත් දෙකම දේශීය ජනශ්‍රැතිය සහ සාහිත්‍ය පාදක කරගෙන නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒ අත්හදා බැලීම අති සාර්තකයි කියලා පෙන්නේ මිලියනකට අධික නැරඹූම් ප්‍රමාණයෙන්ම නෙමේ, කතාව ඉදිරිපත් කරලා තියෙන විදියත් එක්ක.



එක දෙබසක්වත් නැති මෝහිනී කතාවගලා යන්නේ චරිත වල සියුම් හැගීම් ඇසුරෙන්. ඒ වගේම ඒ හැඟීම් හරිම නාට්‍යමය ආකාරයට මතු කරගෙන තියෙන නිසා තමයි ප්‍රේක්ෂකයාට නිතැතින්ම සිනහමුසු වෙන්නේ. ඒ වගේම ඒක පටන්ගන්න කොට හොරර් චිත්‍රපටියකට අදාල මූඩ් එක නියෙමට මතු කරනවා. ඒක සිනමා ෂානර ගැන දැනගෙන කරපු වැඩක්. අපේ රටේ ගොඩක් ලොකු නම් තියෙන අධ්‍යක්ෂවරු පවා ඒ ගොල්ලා දැන් කරන නිර්මාණ ඇතුළේ මේ අවබෝධය සහ රසය නෑ කියලයි පේන්න තියෙන්නේ. ඒ අතින් පසන්ලා තව තව නිර්මාණ ඉස්සරහට එළි දක්වන්න ඕන.

පසන්ගේ නිර්මාණ ගැන කයිවාරු ගහලා වැඩක් නෑ. ඒවා තියෙන්නේ බලන්න. ඒ නිසා මෙතනින් ගිහින් ඒවත් බලන්න.
Pasan Madusanka | You Tube 


මේ ටික බැලුවම ඔබට තේරෙනවා ඇති ලංකාවේ ඇතුළේ ත්රිමාණ සජීවීකරණ විෂයේ කොච්චර වැඩ්ඩෝ ඉන්නවද කියලා. මේ වගේ දහසක් නිර්මාණකරුවෝ අතරේ මේ ඉන්නේ කීප දෙනෙක් විතරයි. ඉදිරියට තව තව අයගේ නිර්මාණ සමඟ හමුවෙමු.


ඔබ චිත්රපට ලියන්න කියන්න හෝ රසවිඳීමට කැමතිද?මෙතනින් පිවිස අනිත් ලිපි බලන්න. > Click

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...
Avatar

Reply | ඔබේ අදහස්