Posted on

මෙම ලිපිය මහාචාර්ය ලියනගේ අමරකීර්ති  විසින් සිනමාවේදී අසෝක හඳගම ගේ ‘Beer without Alcohol’ කෙටි චිත්‍රපටය නිමිති කරගෙන 2020 මැයි 11 වෙනිදා තැබූ ෆේස් බුක් සටහනකි. එතුමාගේ අවසරය මත එම සටහන මෙහි උපුටා පළ කරන්නෙමු.



හඳයාගේ කලාව වෙත ඇද වැටීම |


කොරෝනා කාලේ එකිනෙකාගෙන් දුරස්ථව හිඳිමින් චිත්‍රපටයක් නිර්මාණය කළ ලෝකයේම පළමු වැන්නා හඳයා වෙන්න ඕනෙ.

මේ කෙටි චිත්‍රපටය ගැන සිනමා විචාර දැන් බොහෝ දෙනෙක් පොරොන්දු වී තිබෙනවා.

එහි එන සංකල්පයක් මගේ සිත්ගත්තා. ඒ තමයි වැටීම සහ ආදරය. ෆෝලින් ඉන් ලව් සංකල්පය රූපකයක් සේත් වාච්‍යාර්ථවත් අදහසක් සේත් ගැනීම මේ චිත්‍රපටයේ කේන්ද්‍රීය කාරණයක්. අපි දැනට දන්න විවාහක යුවළ දෙකක්ම ආදරය වෙත ඇද වැටී ඇත්තේ සැබෑ වැටීම් හෙවත් වාච්‍යාර්ථයත් වැටීම් දෙකක් නිසා. රුක්මාල් නිරෝෂ් සමනලීගේ ඇස් සමග ආදරයෙන් බැඳෙන්නේ ඇත්ත වැටීමකින් පස්සෙ. සමනලී චාපා සමග ආදරයෙන් බැඳෙන්නේ එවැනි තථ්‍ය වැටීමේ සිද්ධියකින් පස්සෙ. කැම්පස් උද්ඝෝෂණයකට එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් පස්සෙ.

එවැනි තථ්‍ය වැටීමක් චිත්‍රපටියේත් සිදුවෙනවා.

අවසාන දර්ශනයේදී නදී ඇද වැටීම. ඒත් ඇයගේ දෑස් එල්ල වන ආදරවන්තයා කවුද? ඒ වැටීමෙන් පසු ඇය නැගිටිනු ඇත්තේ කාගේ ඇස් දෙස බලාගෙනද?

එවැනි ඇස් මුණ ගැසීමක් සිදු විය හැක්කේ කොරෝනා සමයයකදී නොවේ. දන්නා කියන අයගේත්, අමුත්තන්ගේත් බොහෝ ඇස් අප අහල පහල තිබිය හැකි සාමාන්‍ය තත්ත්වයකදී.

අප කුඩා කුඩා න්‍යෂ්ටික පවුල්වලට වෙන් වී සිටීමේ ඛේදවාචකය කොරෝනාවලින් පෙන්නුවා වගේ මේ චිත්‍රපටියෙනුත් පේනවා. සැබෑ ඛේදවාචකය කොරෝනාද?

මේ චිත්‍රපටය ඒ අතින් මට නදීගේ කතාවයි. ඇයට තථ්‍ය වශයෙන් වැටිය හැකි වුවත්, රූපකමය වශයෙන් ආදරය වෙත ඇද වැටෙන්නට නොහැකි බව ඇය පුටුවේ හැපී සැබවින්ම ඇද වැටෙන්නට පෙරම දනියි.

චිත්‍රපටියේ නම ඇරුණම අනික් සියල්ලම මගේ සිත් ගත්තා. ඒ නම ආශ්‍රිත සංකල්පය ජනප්‍රිය න්‍යාය සුපර්මාකට්ටුවේ(ශිශෙක්) සහ එහි සිල්ලර කඩවල පට්ට ගැසී එහි රූපකමය ශක්තිය නැතිවෙලා තියෙන්නෙ. ඇල්කොහොල් නැති බියර්, කැෆේන් නැති කෝපි යනාදි යෙදුම් පට්ට ගැසුණු සරල කියමන් හෙවත් ක්ලිශේ බවට පත් වෙලා. ඒ නිසා ඒවා කෙළින්ම මතකයට නොඑන නමක් තිබුණා නම් හොඳයි, සංකල්පය තිබුණා වුණත්. පශ්චාත් නූතන යුගයේ නෙමේ නූතන යුගයේ පවා මනුෂ්‍ය පුද්ගලභාවය නමැති බියර් බඳුනේ සැබවින්ම ඇල්කොහොල් නමැති සාරය තිබුණේද?

මේ හතර දෙනා බොන බීම වර්ග බාර් වහන්න පෙර ගත්තුවාද, නැතිනම් බීම විදියට පෙනී සිටින දේවල්ද? නදීගේ අතේ තියෙන වීදුරුවේ රතුවයිනුත්, ශෙරීත් අතර මැද පෙනුමක් තියෙනවා. ඒත් වීදුරුවත් රඟපානවා වෙන්න පුළුවන්.

ඇත්තටම චිත්‍රපටිය එහි නමින් ඇඟවෙන පශ්චාත් නූතන සරල කියමනින් සහ එය ආශ්‍රිත සංකල්පයෙන් ඈතට යනවා. ඒ මෙතනදි: බියර් බියර් බවට පත්වෙන්නේ එහි අභ්‍යන්තරයෙහි ඇල්කොහොල් තියෙන නිසා නෙමෙයි. එය බෙදාගන්න තව මනුෂ්‍යයෙක් සිටින නිසා. මට නම් මගේ බියර්වල නියම ඇල්කොහොල් මගේ සමීතම මිතුරන් ටික දෙනා. කොරෝනා අපට අහිමි කර තිබෙන්නේ එයයි. තනිවම ඇද වැටෙන නදී කම්මැල්ලවීර අපට සිහි කරන්නේ අහිමිවීමයි.

මේ කෙටි චිත්‍රපටියේ අපේ කොල්ලො කෙල්ලො රඟපාන හැටි හරි පුදුමයි. සමනලී සහ නදී ඉනුත් විශේෂයි. රුක්මාල් තමන්ගේ හිතේ තිබුණ දේ ගැන කියූ පසු සමනලී කරන රඟපෑම පුදුමාකාරයි. රුක්මාල්ගේ රහස් ආදරය විඳිමින් ඇය චාපා වෙත අවංක ආදරය දක්වමින් රුක්මාල්ට වධ දෙනවා.

හඳයා විවිධ ශානරවල වැඩ කළ හැකි සිනමාකරුවෙක්. මේ ගැන සටහනක් ලියපු ප්‍රියන්ත ෆොන්සේකා මෙහෙම දෙයක් කිව්වා. විදූ තුළ හඳයාගේ අඩි සද්දෙ නැතැයි කියූ විචාරකයන්ට නොපෙනුණාට ඒ තුළ හඳයා සිටි බව. ඒක ඇත්ත. ප්‍රධාන ධාරාවේ සිනමාකරුවෙකු සිනමාකර්මාන්තයක් ගොඩගන්නා ආකාරයේ ජනප්‍රිය සිනමාවකට අයත් ශානරයකත් වැඩ කරන අවස්ථාවක් එතන තිබුණා. එක ශානරයක් පමණක් සිනමාව යැයි ගන්නා අය ඔහුට පහර දුන්නා. ඔහුගේ කලාව අසන්ධිමිත්තා විතරක් නෙමේ‍

විචාරකයන් විතරක් නෙමේ ඒ ඒ කාලයේ ජනප්‍රිය වන න්‍යායික වචනත් අතේ දුරින් තියාගෙන පූර්ණකාලීන සිනමා ජීවිතය ගෙනයාමට සමත් පුදුමාකාර නිර්මාණ ශක්තිය හඳයාට තියෙනවා.


‘Beer without Alcohol’ කෙටි චිත්‍රපටය |> Click Here

Reply | ඔබේ අදහස්