Posted on

ඔබ තිර රචනය කියන විෂය පිළිබඳව උනන්දු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම සිඩ් ෆීල්ඩ් (Syd field) ගැනත් ඔහුගේ තිර රචනා න්‍යායන් ගැනත් කිසියම් අදහසක් දැනටමත් ඔබට ඇති. ඔහු පෙන්වා දෙන පරිදි, තිර රචනයක් තුළ දක්නට හැකි නාට්‍යමය ආකෘතියේ ‘පැරඩයිමය’ / ‘සුසමාදර්ශය’ (Paradigm) කියන්නේ මොකද්ද කියන එක මේ ලිපියෙන් විමසලා බලමු. මෙය ‘Three Act Structure’ කියන නමින්ද හදුන්වන්න පුළුවන්.     


‘පැරඩයිමය’ කියන්නේ මොකද්ද?

A paradigm is a model, example, or conceptual scheme.

Screenplay (1979) – Syd Field / P.21

සිඩ් ෆීල්ඩ් පැරඩයිමය හදුන්වන්නේ කිසියම් මොඩලයක්, ආදර්ශයක් හෝ සංකල්පීය රාමුවක් ලෙසයි. ‘මේසයක්’ උදාහරණය හැටියට අරගෙන සිඩ් ෆීල්ඩ් මේක පැහැදිලි කරනවා.

‘මේසයක්’ කියන්නේ මොකද්ද? කකුල් හතරක් සමඟ සම්බන්ධ කරපු මතු පිට පෘෂ්ඨයක් සහිත යමකට, අපි මේසයක් කියලා කියනවා. උස මේස, කොට මේස, දිග මේස, ලී මේස, ප්ලාස්ටික් මේස, වීදුරු මේස ආදී වශයෙන් විවිධාකාර ‘මේස’ තියෙන්න පුළුවන්. හැබැයි ඒ හැම මේසෙකම අර මූලික සංකල්පය තියෙනවා. ඒ කියන්නේ කකුල් හතරක් සමඟ සම්බන්ධ කරපු මතු පිට පෘෂ්ඨයක් සහිත යමක්, කියන මූලික හැඩය. අන්න ඒ මූලික සංකල්ප රාමුව තමයි පැරඩයිමය කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ.

හොඳයි දැන් තිර රචනයක් අරගෙන ඒක චිත්‍රයක් වගේ බිත්තියක එල්ලුවොත් කොහොම පෙනේවිද? ඒක මොන වගේ හැඩයක් ගනීවිද? මෙන්න මේකට තමයි තිර රචනයේ පැරඩයිමය කියලා අපිට හදුනගන්න වෙන්නේ. මේ රූපය බලන්න.


Syd Field’s Paradigm / Three Act Structure


සිඩ් ෆීල්ඩ්ගේ පැරඩයිමය පියවරෙන් පියවර

What do all stories have in common? They have a beginning, middle, and an end, not necessarily in that order.

Screenplay (1979) – Syd Field / P.20

01. මුල, මැද, අග / Beginning, Middle and End

ඕනෑම කතාවක් මුල, මැද, අග(Beginning, Middle and End) කියලා කොටස් තුනකට බෙදාගන්න පුළුවන්. ඒ වගේම කතාවක මුල, මැද, අග  මාරු වෙලා තියෙන්නත් පුළුවන්. ඒවා ඒ පිළිවෙලටම තියෙන්න ඕන කියලා නීතියක් නෑ. ඒත් කතාවේ කොතනක හරි මේ කොටස් තුන බලාගන්න පුළුවන්. උදාහරණකට Léon, The Matrix වගේ කතාවක් ගලා යන්නේ මුල මැද අග ගලපලා, ඒ පිළිවෙලටම. නමුත් Memento, Mulholland Drive, Shutter Island වගේ චිත්‍රපට ඇතුළේ මුල මැද අග පිළිවෙලට බලාගන්න බෑ.



මෙතෙන්දි මතක් කරන්න ඕන ප්‍රධාන කාරණයක් තියෙනවා. ඒ තමයි කතාව ඇතුළේ ගලාගෙන යන කාලය සහ තිර කාලය කියන්නේ දෙකක්. උදාහරණෙකට ටයිටැනික් චිත්‍රපටයේ තිර කාලය පැය තුනකුත් විනාඩි පහළොවක්. ඒත් ඒ කතාව ඇතුළේ කාලය 1996 සිට 1912 දක්වා ඇදෙනවා. ඒ කියන්නෙ අවුරුදු 84ක ඉතිහාසයක්. කතාවේ නාට්‍යමය ආකෘතිය ගැන හිතන කොට මේ කාරණා දෙකම ගැන පැහැදිලි අදහසක් ඔයාට තියෙන්න ඕන. වෙනත් වචන වලින් කියනවනම් ජීවිතය සහ සිනමා මාධ්‍ය කියන කාරණා දෙක, එකට ගලපන එක තමයි අපි මේ කරන්න උත්සාහ ගන්නේ.


02. Act I (Set -up), Act II (Confrontation), Act III (Resolution)

දැන් අපි මේ මුල මැද අග කියන කොටස් තුන Act I, Act II, සහ Act III කියලා නම් කරමු. ඒ වගේම Act I කියන එකට Set-up කියලත්, Act II එකට Confrontation කියලත්, Act III එකට Resolution  කියලත් නම් කරමු (දැන් මේකට Three Act Structure කියන්නෙ ඇයි කියල පැහැදිලි ඇති).



Act I / Set-up කියන කොටසේදී වෙන්නේ චිත්‍රපටය බලන ප්‍රේක්ෂකයාව මේ චිත්‍රපටයට ග්‍රහණය කරගන්න එක. ඒ වගේම කතාව නිවැරදිව සූදානම් කරගැනීම. ඒ කියන්නේ චරිත හදුන්වල දීලා කතාවේ ප්‍රධාන ගැටලුව පැහැදිලි කරලා අපේ කතාවේ විරයාගේ චාරිකාව ආරම්භ කරන එක.

Act II / Confrontation කියන කොටසේදී අපේ වීරයා ආරම්භ කරපු ගමන යනවා. නමුත් ඔහු හිතන තරම් ලේසියෙන් ඔහුගේ ඉලක්කයට ඔහුට ලඟා වෙන්න බෑ. එක පිට එක අභියෝග ඔහු හෝ ඇය වෙත එල්ල වෙනවා. මේ ගමනේදී ඔහු වෙලාවකට වේගෙන් ඔහුගේ ඉලක්කය කරා යනවා,ඒත් ක්ෂණිකව ඇද වැටෙනවා, නැවත උත්සාහ කරනවා, පුහුණු වෙනවා, ආයේ ඇද වැටෙනවා,  මේ ආදී වශයෙන් දහසක් ජීවිත අත්දැකීම් ලබන එක තමයි මේ කොටසේදී වෙන්නේ.

Act III / Resolution කියන කොටසේදී අපේ වීරයාට ඔහුගේ බලාපොරොත්තු ඉලක්කයට යන්න ලැබෙනවා. නමුත් මෙතන්දී ඔහු දිනන්නත් පුළුවන් පරදින්නත් පුළුවන්. කෙසේ හෝ අපේ කතාවේ නාට්‍යමය ගැටුමේ කිසියම් කූඨප්‍රාප්තියකටත් ඉන් පස්සේ කිසියම් සමථයකටත් කතාව පත් වෙනවා. 


03. Plot Point

There are many plot points in a screenplay, but in the creation of the story line, the most important are Plot Point I and Plot Point II.

https://sydfield.com/syd_resources/the-paradigm-worksheet/

ඒත් එක්කම මේ සටහනේ, කතාවේ ප්‍රධාන සංධිස්ථාන දෙකක් ලකුණු කරන්න පුළුවන්. ඒ කියන්නේ එක දිශාවකට ගලා ගෙන ආපු කතාව හදිස්යේම වෙනත් දිශාවකට හැරවෙන තැන්. ඒවා Plot Point කියලා නම් කරමු (Plot Point 01 and Plot Point 02). කතාවක Plot Point දෙකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. නමුත් මේ දෙක තමයි වඩා වැදගත්ම අවස්ථා දෙක.

ඒ වගේම Act II කියන කොටසේ මැද තව ප්‍රධාන සංධිස්ථානයක් තියෙනවා. ඒක Midpoint කියලා නම් කරමු. මේ ඔක්කෝම කතාවේ ගමන් මඟ වෙනස් කරන තැන්. ඇත්තටම මේවා අපේ කතාවේ වීරයාගේ ‘තීරණ’ කිව්වොත් හරි.



04. එක පිටුවක් එක විනාඩියයි

සාමාන්‍යයෙන් එක A4 පිටුවක් (one side / A4) සලකන්නේ තිර කාලයේ එක විනාඩියක් විදියට. පිටු 120ක තිර රචනයක් කියන්නේ විනාඩි 120 ක නැත්නම් පැය දෙකක චිත්‍රපටයක්. ඒ මූලික අනුමානය පදනම් කරගෙන තිර රචනය ලියන කොට තමයි ඒකේ තිර කාලය මැනගන්නේ පුළුවන් වෙන්නේ (නමුත් මේ අනුමාන කාලය චිත්‍රපටය නිෂ්පාදනයේදී සහ සංස්කරණයේදී එහා මෙහා වෙන්න පුළුවන්). මේ ආකෘතියේදීත් ඒ අනුමානය මත තමයි කාලය බෙදා වෙන් කරලා තියෙන්නේ.  



දැන් මේ තියෙන්නේ සිඩ් ෆීල්ඩ්ගේ පැරඩයිමය බොහොම සරලව. නමුත් මේ කොටස් ටික දැනගත්තට මදි, මේ එක් එක් කොටස් වෙන වෙනම පැහැදිලි කරගන්න ඕන. ඒ නිසා ඊළග ලිපියෙන්, වෙන වෙනම උදාහරණ සහිතව මේ කොටස් තුන ගැන කතා කරමු.


1 Star2 Stars3 Stars4 Stars5 Stars (4 votes, average: 4.25 out of 5)
Loading...
Avatar

Reply | ඔබේ අදහස්