Posted on


ඔයා කවදා හරි අහසේ ඇවිදගෙන ගිහින් තියෙනවද? අසල්වැසි ටොටොරෝ මුණගැහිලා තියෙනවද? බළල් කෝච්චියේ ගිහින් තියෙනවද? අහසේ පාවෙන ලැපියුටා රාජධානිය දැකලා තියෙනවාද?  බූතයන්ගේ නාන කාමරයට ගිහින් තියෙනවද? වනයේ හදවත හෙවත් මුව දෙවියන් හම්බෙලා තියෙනවද? මුහුදු දෙව් දූ මුණගැහිලා තියෙනවාද?


ජපන් ජාතික ‘හයාඕ මියසාකි’(Hayao Miyazaki) ගේ ඇනීම් (Anime) චිත්‍රපට බැලුවොත් ඔයාට අනිවාර්යෙන්ම මේ සියලු දෙනා හම්බ වේවි. ඒ වගේම ඔයා ජීවිතේට අහලවත්, දැකලවත් නැති තැන් දකින්න,  පුදුමාකාර චාරිකාවලට සහභාගී වෙන්න ඒ වගේම අමුතු අමුතු චරිත මුණගැහෙන්නත් මේ චිත්‍රපට ඇතුළේ ඔයාට පුළුවන් වෙනවා.



‘ඩිස්නි’ ස්ටූඩියෝව ගැන අහල තිබුණට ‘ජිබ්ලී’ ස්ටූඩියෝව (Studio Ghibli) ගැන අහලා අඩු ඇති නේද? මියසාකි තමයි ජිබ්ලී ස්ටූඩියෝවේ ගෝඩ් ෆාදර්. අපේ සිහින ලෝකය නිර්මාණය කරන සිහින ලෝකයේ රජ්ජුරුවෝ!

ඉතින් මේ කියන්න යන්නේ ‘හයාඕ මියසාකි’ ගේ  ඔයා නැරඹිය යුතුම චිත්‍රපට 10ක් ගැන. ඉතින් මේ චිත්‍රපට ඔක්කොම රූපෙන් රූපය අතින් ඇඳලා නිර්මාණය කරන්නේ ‘හයාඕ මියසාකි’ ඇතුළු කණ්ඩායම.


01. Spirited Away (2001) / බූතයින්ගේ නාන කාමරය  



වයස අවුරුදු දහයක් වන ‘චිහිරෝ’ තම දෙමව්පියන් සමඟ කඳුකර පෙදෙසක තියෙන තමන්ගේ අලුත් නිවස වෙත යමින් ඉන්නවා. තමන්ගේ අලුත් ගෙදර පෙනෙන නොපෙනෙන මානයේදී මේ තුන් දෙනාට පාර වැරදෙනවා. පාර වැරදුනාට මේ ගොල්ලන්ට හම්බෙනවා පුදුම නගරයක්. නගරේ පුරාවට කෑම පිරුණ, සුවඳ හමන අවන්හල් වලින් පිරිලා. හැබැයි පුදුමේ කියන්නේ මේ නගරේ එක මිනිහෙක්වත් නැති එක.

ඉතින් චිහිරෝ හොඳටම බයවෙනවා මේ නගරේ දැකලා. ඒත් අම්මටයි තාත්තටයි ගාණක්වත් නෑ. ඒ දෙන්නා චිහිරෝ එපා එපා කියනකොට අර තිබුණ රස රස කෑම කාගෙන කාගෙන යනවා. අනේ ඉතින් චිහිරෝ කියන දේ අහන්නේ නැතුව කෑම කාපු අම්මයි තාත්තටයි මොකද වුණේ? ඒ දෙන්නා ඌරෝ දෙන්නෙක් බවට පත් වුණා. චිහිරෝ ‘යුබාබා’ කියන මන්තරකාරියට කොටුවෙනවා.

ඉතින් මෙතනින් එහාට තියෙන්නේ චිහිරෝ කොහොමද තමන්ගේ අම්මවයි තාත්තවයි බේරගන්න සටන්කළේ කියන එක. සටන් කළා කිව්වට චිහිරෝ සටන් කළේ කඩු, දුනු, හෙලි, වගේ ආයුධ වලින් නෙමේ. එහෙනම් චිහිරෝ සටන් කළේ මොන විදියේ ආයුධ වලින්ද? ඒක දැනගන්න චිත්‍රපටය බලන්න. 


02. Howl’s Moving Castle (2004) / හවුල් ගේ ඇවිදින මන්දිරය



සොෆී කියන්නේ හරිම ගුණ යහපත් ආදරණීය තරුණ කෙල්ලක්. දවසක් අහම්බෙන් සොෆීට, ‘හවුල්’ කියන කඩවසම් මායාකාරයා  මුණ ගැහෙනවා. ඒ මොහොතේ පටන් සොෆී ඒ මායාකරුට ආදරයෙන් බැදෙනවා. ඒත් අවාසනාවට හවුල්ට ආදරේ කරන තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි වේස්ට්හි මායාකාරිය. 

සොෆී සහ හවුල් එකිනෙකාට ප්‍රේම කරනවා කියලා දැනගත්ත ගමන් වේස්ට් හි මායකාරිය එනවා සොෆී හොයාගෙන. ඇවිත් සොෆීට ශාපයක් කරනවා. ඒ ශාපෙන් සොෆී අවුරුදු අනූවක ආච්චියෙක් බවට පත් වෙනවා.

මේ අතරේ සොෆී ගේ රටේ රජ්ජුරුවෝ අල්ලපු රාජධානියත් සමඟ විශාල යුද්ධයකට එළඹෙනවා. රජ්ජුරුවෝ අණ කරනවා සියලු මායාකාරයෝ යුද්ධෙට උදව් කරන්න ඕන කියලා. ඒත් ‘හවුල්’ යුද්ධයට තදින් විරුද්ධයි. තමන්ගේ බලය, මිනිස්සු මරා දමන යුද්ධයකට පාවිච්චි කරන්න හවුල් කිසි සේත්ම කැමති වෙන්නේ නෑ. ඒ කියන්නේ හවුල් රජුගේ අණට කීකරු වෙන්නේ නෑ.

තව දෙයක් කියන්න අමතක වුණා ඒ තමයි හවුල් සහ හවුල්ගේ මන්දිරයේ ජීවත් වෙන ගිනි රාක්සයාටයි දෙන්නටම තියෙන්නේ එකම හදවතක් විතරයි. කොයි වෙලේ හරි ගිනි රාක්සයා මැරුණොත් හවුලුත් මැරෙනවා.

ඉතින් සොෆී කොහොමද තමන්ගේ සාපය බිඳ ගත්තේ. හවුල්ට මොකද වුණේ? බලන්න, හවුල්ගේ ඇවිදින මන්දිරය!


03. My Neighbor Totoro (1988) / මගේ අසල්වැසි ‘ටොටොරෝ!’



සට්සුකීටයි එයාගේ චූටි නංගීටයි දුර ඈත පළාතක පදිංචියට යන්න වෙනවා එයාලගේ තාත්තත් එක්ක. මොකද ඒ ගොල්ලන්ගේ අම්මා අසනීපවෙලා ඒ පළාතේ රෝහලක නතර කරලා ඉන්නේ. අලුත් ගෙදර ඉදන් අම්මා බලන්න යන්න ටිකක් ලේසියි. ඉතින් තාත්තයි සට්සුකියි එයාගේ නංගීයි තුන්දෙනා මේ අලුත් ගෙදර පදිංචි වෙනවා. හැබැයි අලුත් කිව්වට මේ ගෙදර හරි පරණයි. වටේ ලොකු කැලෑවක් තියෙන්නේ.

සට්සුකී නම් ළග පාත ඉස්කෝලෙට යන්න පටන් ගත්තා. ඒත් චූටි ‘මේයි’ට ඉස්කෝලේ යන්න තරම් වයසක් නෑ. ඉතින් එයා බත් ගෙඩියක් බැදගෙන වතුර බෝතලයකුත් අරගෙන චූටි බෑග් එකකුත් කරේ දාගෙන වත්ත පිටියේ සෙල්ලම් කරන එක තමයි කරන්නේ. ඔන්න ඔය වෙලාවේ තමයි මේයිට එයාගේ අසල්වැසියා මුණ ගැහෙන්නේ. ඒ තමයි ටොටොරෝ!

මීට වැඩිය නම් මේ කතාව කියන්න බෑ. කිව්වොත් අපරාදේ. සට්සුකීගෙයි, මෙයීගෙයි ටොටොරෝගෙයි යාළුකම බලන්න චිත්‍රපටිය බලන්න. ඒත් එක්කම බළල් කෝච්චීයේ ගමනක් යන්න අමතක කරන්නත් එපා.


04. Ponyo (2008) / මූදු දේවි ගේ පුංචි දෝණි!



පොන්යෝ කියන්නේ මිනිස් මූණක් තියෙන චුට්ටං ගෝල්ඩ් ෆිෂ් කෙනෙක්. ගෝල්ඩ් ෆිෂ් කිව්වට එයා හරිම දඟ චූටි කෙලි පොඩ්ඩියෙක්. එයාගේ තාත්තා තමයි ෆුජිමොටෝ කියන විජ්ජාකාරයා. අම්ම තමයි මූදූ දේවිය.

ෆුජිමොටෝ සොබාදහමේ තුලනය පවත්වාගෙන යන්න හරියට මහන්සි වෙනවා.  හැබැයි පොන්යෝ ගේ දඟ වැඩ නිසා සොබා දහමයි මනුස්සයා අතර තියෙන සම්බන්ධයයි බිඳෙනවා. පොන්යෝ කරන දඟ වැඩේ මොකද්ද දන්නවද? සොස්කේ කියන අවුරුදු පහේ කොළු පොඩ්ඩට ආදරේ කරන්න පටන් ගන්න එක. මේක හරිම ෂෝක් ආදරයක්. පොන්යෝ, කොච්චර සොස්කේට ආදරේද කියන්නේ පොන්යෝ ටිකෙන් ටික මනුස්ස දුවක් බවට පත් වෙනවා.

ඒත් හැබැයි පොන්යෝ ගේ මේ ආදරය නිසා මුහුද ගොඩ ගලලා මහා විනාසයක් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ?


05. Princess Mononoke (1997) / අප රැක ගන්නා වනයේ ආත්මය!



කාලයක් මනුෂ්‍යයාත් වනයත් බොහෝම හොඳ යාළුවෝ වගේ එකට එකතුවෙලා ජීවත් වුණා. ඒ වුණත් ටික කාලෙකින් මිනිහාගේ ලෝබකම වැඩි වෙන්න ගත්තා. ඉතින් එයා කැලේ කපලා, පොළොව හාරලා එක එක දේවල් කරලා පරිසරය විනාස කරන්න ගත්තා. මේ නිසා කැලේට අධිපති දෙවිවරු මිනිහත් එක්ක අමනාප වෙන්න ගත්තා. ඒ නිසා දෙවිවරු ක්‍රමයෙන් රාක්ෂයන් බවට පත් වුණා.

‘අශිඨාකා’ කියන කුමාරයා එවන් රාක්සසයෙක්ගෙන් තම ගම ආරාක්ෂා කරන්න ගිහින් ඒ රාක්ෂයා ගේ (රාක්ෂයා කිව්වට එයා සූකර දෙවියෙක්) දරුණු ශාපයෙකට ගොදුරු වෙනවා. ඒ ශාපය, අශිඨාකා කුමාරයාගේ ඇඟ ඇතුළේ වැඩෙන්න පටන් ගන්නවා, හරියට කොරෝනා වෛරසය වගේ.

ඒ ගමේ ඉන්න පේන කියන්නිය අශිඨාකා කුමාරයාට කියනවා බටහිර පැත්තට ගමන් කරලා  බලන්න. ඒ පැත්තේ ඉඳන් තමයි සූකර දෙවිවරු එන්නේ. සමහරවිට බෙහෙතක් හම්බෙවෙලා සුව වෙන්න පුළුවන්. නමුත් ආයෙත් කවදාවත් ගමට එන්න බෑ කියලා. ඉතින් බොහොම දුකින් වුණත් අශිඨාකා කුමාරයාට ගමෙන් පිට වෙලා යන්න වෙනවා.

බටහිර දෙසට ගමන් කරන අශිඨාකා කුමාරයාට මුණගැහෙන්නේ කව්ද? කුමාරයාගේ ජීවිතයට මොකද වෙන්නේ?


ජපන් සිනමාව ගැන ඉගෙන ගන්න කොට අපි වැඩිපුරම සැලකිලිමත් වෙන්නේ එහි පැරණි සම්භාව්‍ය චිත්‍රපට අධ්‍යක්ෂවරු කීපදෙනෙක් ගේ නිර්මාණ ගැන විතරයි. බොහෝ වෙලාවට ජපන් ඇනීම් චිත්‍රපට(Anime) කලාව අපට මඟ හැරෙනවා. නමුත් මට හිතෙන්නේ ‘මියසාකි’ ගේ නිර්මාණ අධ්‍යයනය සහ රසවිඳින එක සරසවියකට ඇතුළු වෙනවා වගේ වැඩක්.



1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 3.50 out of 5)
Loading...
Avatar

2 Replies to “අහසේ නිදහසේ ඇවිදිමු! – ‘හයාඕ මියසාකි’ ගේ සිනමාව. (Hayao Miyazaki / Studio Ghibli Movies / Part I)”

Reply | ඔබේ අදහස්