Posted on

මගෙ අම්මා හැමදාම කිව්වෙ ජීවිතේ කියන්නෙ චොකලට් පිරුණු පෙට්ටියක් කියල. ඔයා කවදාවත් දන්නෙ නෑ ඔයාට ලැබෙන්නෙ මොකක්ද කියල!

 My momma always said, “Life was like a box of chocolates. You never know what you’re gonna get”

1994 දී තිරයට ආ රොබට් සෙමිකිස් (Robert Zemeckis)අධ්‍යක්ෂණය කළ ෆොරස්ට් ගම්ප් (Forrest Gump) චිත්‍ර‍පටයේ ප්‍ර‍ධාන චරිතය වූ ෆොරස්ට් ගම්ප් එක්තරා නගරයක බස් නැවතුමක බසයක් අපේක්ෂාවෙන් ඉන්නා අතර එහි දී හමුවන මගීන්ට සිය ජීවන වත ඉදිරිපත් කරයි. ඔහුගේ කතාව අතරතුර විවිධ පුද්ගලයින් එහි එන බස් රථවල නැගී පිටව ගිය ද යළි යළිත් එහි එන මගීන් වෙත සිය කතාව කියමින් ෆොරස්ට් සිය අපූරු ජීවන අන්දරය ඉදිරියට විකාශනය කරයි. ඉහත උද්ධෘතය සිය කතාව අතරතුර බොහෝ තැන්වලදී ඔහු මුවින් පිට වන උදාන වාක්‍යයකි.

අංගවිකල, තරමක මන්ද මානසිකත්වයකින් පෙළෙන දරුවකු ලෙස දිවි අරඹන ෆොරස්ට්ගේ ජීවිතය තුළ ඔහුට මුණ ගැසෙන, ඔහු අගයන හා ඔහු හා වෙසෙන චරිතද්වය වන්නේ මව සහ සහෘද මිතුරිය වන ජෙනී ය. ‘ආබාධිතයකු‘ වුව විසල් හදවතක් ඇති ෆොරස්ට් තමන්ට උසුළු විසුළු කරමින් පහර දෙන්නට එන පාසැල් සගයන්ගෙන් බේරීමට, ජෙනීගේ යෝජනාව මත, වේගයෙන් දුවන්නට පටන් ගනියි. ඔහුගේ වේගය ඔහුට විශ්වයට දොරටුවක් විවර කර දේ. ඇමරිකානු පාපන්දු ක්‍රීඩාව අභියස ජනපති ජෝන් එෆ්. කෙනඩි හමුවට යන දක්ෂ  ක්‍රීඩකයකු ලෙසද, වියට්නාම් යුද්ධයේදී යුධ වීරයෙකු ලෙස ද, ජනපති රිචඩ් නික්සන්ගේ පැසසුම් දිනන මේසපන්දු ක්‍රීඩකයකු ලෙස ද, අවසානයේ කූනිස්සන් අල්ලන්නට යන නැවක සාර්ථක කප්පිත්තකු ලෙස ද ජීවිතය විහිදුවන්නට ඔහුට ඉඩ සළසන්නේ මේ වේගය හරහා ඔහු දිනන ජීවිතයයි. සිනමා දෘශ්‍ය ප්‍රයෝග හේතුවෙන් අතීත වාර්තා සිතුවම් අතර ෆොරස්ට්ගේ රුව පිහිටුවමින් සිමිකිස් මතු කරන හාස්‍ය මුසු සිනමා නාටකය කෙළවර  අපට මුණ ගැසෙන්නේ ජීවිතය පිළිබඳ ගැඹුරු සංවේදනා පෙළකි.



ෆොරස්ට් කුඩා දරුවකු ලෙස ජීවිතය වටහා ගන්නේ සිය මව හරහා ය. පුතුගේ මන්ද මානසිකත්වය හේතුවෙන් ඔහු විශේෂ පාසැලකට ඇතුළු කරවීමට වන යෝජනාව ඉවත් කර සාමාන්‍ය පාසැලේ දොරටු ඔහුට විවර කර දෙන්නට මව සිය කය පාසැලේ මුල් ගුරුතුමාට පුද කරයි. ඉන් විවර පාසැල් බිමට ෆොරස්ට් පිටව යන පළමු දිනයේදීම ඔහුට පාසැල් බසයේදී කුඩා ජෙනී මුණ ගැසේ. පාසැල් බිමේ දී හා ඉන් නික්ම ගිය පසුවත් මව වියෝවූ පසුවත් ජීවිතයේ විවිධ ඉම්වලදී මුණ ගැසී ඔහුට ජීවිතය කියා දෙන්නී ජෙනී ය. සිය මවත්, ජෙනීත් දෙදෙනා මුහුණ දෙන අනේක විධ ගැහැට තුළින් හා ඔවුන් ලබා දෙන මග පෙන්වීම් තුළින් ෆොරස්ට් ජීවිතය වටහා ගන්නට යත්න දරත්දීත්, සිය අවබෝධයේ සීමාකම් තුළ රැඳ‍ෙමින් ඒ ප්‍ර‍ශ්න කරද්දීත් ජීවිතය දකින්නේ තිරය අභියස සිටින අප ය.

කටොළුවලින් පිරි ෆොරස්ට්ගේ ජීවිතය තුළ එකිනෙක යා කළ හැකි, නොහැකි විස්මිත කතන්දර රැසකි. ඒ බොහොමයක් කෙළවර වන්නේ තවත් අපේක්ෂාසහගත කතාවකට මග පාදමිනි. එකිනෙක හරහා ඇදහිය නොහැකි සංචාරයක යෙදෙන ෆොරස්ට් ඒ හරහා ජීවිතය වටහා ගනියි. ඇතැම් විට දහසක් සංකල්පනා මතු කොට බොහෝ වේලාවක් යළි යළිත් සිතා බලන්නට අප පොළඹන දෙබස් සිය මුවට නංවයි. ඒ ඔහු තමන් අත් දකින සැබෑව පිළිබඳ සෘජුව කියා පෑමෙනි. ඒ සියල්ල අවංක ය. යුද්ධයක නිරර්ථක බව හඟවන්නට යුද්ධය ගැන කිසිවකුත් නොකියා ඔහු ජෙනීට කියන මේ වදන් පෙළ සමත් වෙයි.


ඔයාට වියට්නාමෙදි බය හිතුණ ද? ජෙනී අසයි.

ඔව්.. ඇත්තටම… මං දන්නෙ නෑ. සමහර වෙලාවට වැස්ස නතර වෙලා තරු මතුවෙන්න පටන් ගන්නවා… ඊට පස්සෙ ඇත්තටම හොඳයි. ඒක හරියටම අපේ ගම්මානෙ දි ඉර බැහැල යන වෙලාව වගේ. අර කඳු මැද්දෙ තියෙන විල වගේම එහෙ වතුරත් හරියට දිස්නෙ ගහනව. ඒව කොයි තරම් පිරිසිදු වතුරද කියනව නම් ජෙනී, වෙලාවකට පේන්නෙ නිල් පාට අහසවල් දෙකක් එකට එක මුණගැහිල බලා ඉන්නව වගේ. ඊට පස්සෙ කාන්තාරෙදි, ඉර නැගල එන වෙලාවට… මට කියන්න තේරෙන්නෙ නෑ ජෙනී… පොළව ඉවර වෙලා දිව්‍ය ලෝකෙ පටන් ගන්නෙ කොතනින්ද කියල… ඒක ඒ තරම්ම ලස්සනයි!



සිනමා කෘතියක ජීවිතය හමුවන්නේ ඒ මේ යැයි දක්වමින් රූපය තුළ බහාලමින් නොව රූප හමුවේ අප මනස තුළ පැන නැගෙන ප්‍ර‍තිරූප පරිද්දෙනි. ප්‍රේමය, මානව දයාව, මනුසත්කම ආදී තෘප්තකර මිනිස් සමාජයකට හා ජීවිතයකට වඩා අවැසි දේ ෆොරස්ට් අපට මුණගස්වන්නේ ජීවිතය හරහා යන චාරිකාව තුළිනි. ජීවිතය සැබවින්ම අනේක රසැති හැඩැති චොකලට් පිරුණු චොකලට් පෙට්ටියක් ය යන්න ඔහු අපට කියා දේ.

එහෙත් ඊ ළග මොහොතේ කුමන රසයක් ලැබේදැයි, ෆොරස්ට්ගේ මව කී ලෙසම, අප දන්නේ නැත.


1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)
Loading...
Priyantha Fonseka

Reply | ඔබේ අදහස්