Posted on

එරන්ද මහගමගේ විසින් රචනා කරනු ලබන මෙම ලිපි පෙළ මගින් ‘කෙටි චිත්‍රපටය සහ එහි සෞන්දර්ය’ පිළිබදව දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිතය. එම ලිපි පෙළේ පළමු ලිපිය වන මෙය වෙන්වන්නේ ගීතාංජලී රාඕ ගේ සිනමාව වෙනුවෙනි. මෙම ලිපිය කොටස් දෙකකින් යුක්තව පළ කරනු ලැබේ. මේ එහි දෙවන කොටසයි. කෙටි චිත්‍රපටයේ සෞන්දර්ය – ගීතාංජලී රාඕගේ සිනමාව (පළමු කොටස)]


‘ගීතාංජලී රාඕ’ (Gitanjali Rao) ඉන්දියානු විශිෂ්ට කෙටි චිත්‍රපටකාරිනියකි. ඇයගේ True Love Story, Printed Rainbow, Bombay Rose, Chai  නම් චිත්‍රපට ඉන්දියාවෙත් ඉන් පිටතත් ජනප්‍රිය වී ඇත. විශේෂයෙන්ම ඇය විසින් යෝජනා කරන සිනමා ශානරය ද වෙනස් ආකෘතියක් ගනී. ත්‍රිමාණ සජීවීකරණය යොදාගනු ලැබූව ද ඇය විසින් විශාල තාක්ෂණයක් ඒ සඳහා භාවිත කරන්නේ නැත. ඒ වෙනුවට ඇය වඩාත්ම දිශානත වන්නේ ‘අදහසක්’ ඉතා සූක්ෂමව රූප තුළ සකස් කිරීමටයි.

මුල, මැද, අග රේඛීය සමාජ ජීවිතයත් සිනමා ආඛ්‍යානයත් ප්‍රතික්ෂේප කරන ඇය ඒ වෙනුවට අපට ඉදිරිපත් කරන්නේ සමාජයේ පරිධියේ ජීවත් වන බිඳ වැටුණු මිනිසුන්ගේ ජීවිතයයි. ඇගේ Bombay Rose චිත්‍රපටය 2019 වැනීසියේ සිනමා උළෙලේ දී ජාත්‍යන්තර විචාරක සතියේ දී ලෝක මංගල දර්ශනය පැවැත්වීය. එය සමකාලීන ලෝක සිනමා අංශයේ (2019) ටොරොන්ටෝ ජාත්‍යන්තර සිනමා උළෙලේදී ප්‍රදර්ශනය කරන ලදී. 


FilmographyGitanjali Rao


මට නම් බොලිවුඩයේ ජීවිතය පෙන්වන ආකාරය බොහෝ විට මනකල්පිත වන්නේ එය එතරම් යථාර්ථයක් නොවන බැවිනි. මම එය කිසි විටෙකත් විශ්වාස කර නැති අතර ඔවුන්ගේ යථාර්ථයෙන් ඈත් වීමට අවශ්‍ය නිසා මනකල්පිතය දෙස බැලීමට ආදරය කරන සමස්ත ප්‍රේක්ෂක පිරිසක් සිටින බව මම දනිමි. මම මනකල්පිතයට වල කපන්නේ නැත, මම එය සමරන්නේද නැත

ඉන්දියන් එක්ස්ප්‍රස් හි ( October 16, 2019 )අදහස් දක්වන ගීතාංජලී සිනමාව පිළිබඳව දක්වන්නේ එවැනි අදහසකි.

රාඕ ගේ කෙටි චිත්‍රපට වලින් මා වඩාත්ම ඇලුම් කරන්නේ  ‘Printed Rainbow’ නම් චිත්‍රපටයටයි. එය වයසක කාන්තාවක් සහ ගිණි පෙට්ටි සමඟ දෝලනය වන චිත්‍රපටයකි. ගීතාංජලී මෙම වයසක ස්ත්‍රියගේ ජීවිතයේ ඛේදවාචකය පෙන්නුම් කිරීමට ආඛ්‍යානය සකස් කරගන්නේ ගිණි පෙට්ටි සමූහයක ඇති විචිත්‍ර කවර සිතුවම්ය. මනෝභාවය කාව්‍යමය වන අතර චිත්‍රපටය මෘදු වේගයකින් ඉදිරියට යයි. රාඕගේ මෝස්තර සමහර විට බොළඳ ය, නමුත් ඇගේ සජීවිකරණ කුසලතාව අනර්ගය.

තරමක් කෙටි සජීවිකරණ ඉතිහාසයක් ඇති රටක් වන ඉන්දියාවේ ඇය තනිවම චිත්‍රපටය ලියා, සජීවිකරණය, අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කළ බව යමෙකු සලකන විට රාඕගේ කෘතිය වඩාත් ආකර්ෂණීය වේ. ඉන්දියාව වාණිජ සජීවිකරණයේ යම් ප්‍රගතියක් ලබා ඇතත් ස්වාධීන සජීවිකරණය තවමත් සිදුවන්නේ ඉතා කලාතුරකිනි. මේ අනුව රාඕගේ වැඩ කටයුතු වඩාත් අපූරු ය. වාසනාවකට මෙන්, වැඩි පිරිසක් එය දුටු අතර රාඕගේ චිත්‍රපටය සම්මාන රාශියකට හිමිකම් කියන ලදි.

මේ වයෝවෘධ ස්ත්‍රිය මහල් නිවාසයක කුඩා කාමරයක ජීවත් වන අතර ඇය ගිනි පෙට්ටි එකතු කරමින් කාලය ගත කරයි. ඇයගේ තනියට ඇය සමඟ කුඩා පූසකු ජීවත් වේ. මෙහි පළමු රූප රාමු කිහිපයෙන්ම ගීතාංජලී අපට සමකාලීන ඉන්දීය නාගරික ජීවිතයේ යථාව පෙන්නුම් කරයි. කුඩා නිවෙස් තුළ රාමු වූ මිනිසුන්. එකම ක්‍රියාවන් කරමින් දිනපතා ඒවා ට ඇබ්බැහි වූ මිනිසුන් ඇය අපට පෙන්නුම් කරයි. මිනිසුන් නිවසින් පිටතට යන්නේ වැස්සකට රෙදි ගැනීමට පමණි. කුඩා ළමුන්ට මෙහි ක්‍රීඩා කිරීමට හෝ අවකාශයක් නැත. විශාල සමාගම්, විශාල කර්මාන්ත සමකාලීන ඉන්දියාව වෙලාගෙන ඇති අතර ඔවුන්ගේ නගර එන්න එන්නම මෙට්‍රෝ නගර බවට පත් වෙමින් පවතී. 


Printed Rainbow is an award-winning 2006 Indian animated short film directed, animated and produced by Gitanjali Rao.


නගර නිර්මාණය ගැඹුරු මාතෘකාවක් වන නමුත් ඒවා නිර්මාණයේ දී මිනිසුන්ගේ සමාජ ජීවිතය පිළිබඳව අවධානය යොමු කළ යුතුය. අප හොඳින්ම දන්නා පරිදි ලංකාවේ ද නගර සංවර්ධනයේ දී මෙම සමාජ ප්‍රශ්න උද්ගත විය. මේ සඳහා හොඳම උදාහරණය වන්නේ මෑතක දී කොළඹ (කෙසෙල්වත්ත) ප්‍රදේශයෙන් කොවිඩ් රෝගීන් විශාල වශයෙන් හමු වූ විට මාධ්‍යයේ හැසිරීමයි. එහිදී කුඩා ස්ථානයක මෙතරම් ප්‍රමාණයක් ජීවත් වීම නිළධාරීන්ට මෙන්ම බොහෝ අයට අරුමයක් විය. නමුත් අප මතක තබා ගත යුත්තේ ඒවා නාගරීකරණයේම -අපේම – කොටස් බවයි. කොළඹ නගරය කර මත තබාගෙන යන්නේ ඔවුන් හැර අන් කවරහු ද ?

එක්තරා ආකාරයකට නගරයේ සංවර්ධන කටයුතු කිරීම වැරදි නැත. නමුත් සෑම මිනිසකුගේම සමාජ ජීවිතය එක වගේ විය යුතුය කියා දෙයක් නැත. ඒ ඒ මිනිසුන්ගේ ජීවිත ඒ ඒ ආකාරයේ ඒවා වේ. ‘ගීතාංජලී’ මේ අදහස අපට ගෙන එන්නේ අලංකාර ගිණි පෙට්ටි තුළිනි. කුඩා නිවසේ ජීවත් වන මහලු කාන්තාව ගිණි පෙට්ටියේ චිත්‍රයට ආසක්ත වන්නේ එම නිසාය. මිනිසුන්ගේ ජීවන අභිලාෂ පාලනය කිරීමට රජයකට, ආයතනයකට , පාලනාධිකාරියකට හැකි වුවත් අපගේ අදහස්, සිතුවිලි පාලනය කිරීමට නොහැක. ලිබරල්කරණයේ දී අපට ‘අදහස්’ වෙනුවෙන් පෙනී සිටින මිනිසුන්ට වඩා දැකගත හැක්කේ  ‘දේවල්’ වෙනුවෙන් පෙනී සිටිනා මිනිසුන්ය. මෙහිදී මෙම ස්ත්‍රියගේ ඛේදවාචකය වන්නේ ඇය මහලු වීමත් නිවසින් එළියට යාමට නොහැකි වීමත් නිසා සමස්ත ජීවිතයම කුඩා කාමරයට ලඝු වීමයි. එහිදී ඇයගේ පරිකල්පනය මඟින්  ජීවිතයේ නිදහස අර්ථ නිරූපණය කිරීමට ගීතාංජලී උත්සහ ගෙන ඇත. මේ ස්ත්‍රිය නොයෙකුත් අවකාශයන් ගණනාවක් කරා ගොස් අවසානයේ දී මරණයට පත් වේ. ඇය සමඟ දොඩමලු වීමට ද පැමිණෙන්නේ වයෝවෘධ පිරිමියෙකි. දෙදෙනාගේ හමු වීම විනා ඇයට සමාජ ජීවිතයක් නොමැත. දරුවන් ඉතා කාර්යබහුල වීම, නගරයේ ඉඩ හැකිලීයාම නිසා ඇයට ඒවාට මුහුණ දිය නොහැකි බව අපට ඉඟි කළ හැක. නමුත් වයසට යාම යනු සමාජයෙන් අවලංගු වීමක් හෝ සම්පූර්ණ ජීවිතයෙන් කොටසක් බවට පත් වීමක් ලෙසට අපට වටහාගත නොහැක.


Printed Rainbow – 2006

බොහෝ විට අප අපගේ මරණය පිළිබඳව කල්පනා කරන්නේ ඔරලෝසු, කැලැන්ඩර වෙලාවෙනි. අප වයසට යන විට මරණයට ලඟා වීම ඉක්මන් වන බවට පවතින අදහස මුලාවක් වන අතර අප සෑමවිටම/ ඒවන විටත් මරණයට දිශානත වී ඇත. මේ අනුව සමාජ ජීවිතයේ දී මහලු බව යනු මරණයට ලං වූ පැවැත්මක් ලෙසට වටහා ගැනීම වැරදිසහගත වේ. ඒ වෙනුවට අපගේ භෞතික සිරුර මදක් දුර්වල බව වටහා ගැනීම ප්‍රමාණවත් වේ. නමුත් ‘අදහස්’ සඳහා එය වලංගු නොවන බව ස්ටීවන් හොප්කින්ස් අපට හොඳ නිදර්ශනයක් ලබා දුන් බව අප හොඳින්ම දන්නා කාරණයකි. නමුත් තව තවත් ගීතාංජලී අපට රූප මඟින් පෙන්වන්නේ අප ජීවිතයේ සත්‍ය වෙත දිශානත විය යුතු බවයි.ඒ සඳහා ආදරය – විද්‍යාව – කලාව – දේශපාලනය තුළ කරක් ගැසීමට සිදුවනු ඇත. මේ වයෝවෘධ කාන්තාව තුළින් හා ඇගේ උත්සහයන් මතින් රාඕ අපට පවසන්නට උත්සහ කරන්නේ එයයි.

ඒ අනුව ගීතාංජලී අපට කියන්නට උත්සහ කරන්නේ ‘අදහස්’ සඳහා වයසක් බල නොපාන බවයි.  ඉන්දීය නාගරික ජීවිතයේ ඇති හිස් බව සේම මිනිසුනගේ අභ්‍යන්තර අභිලාෂයන් ගිණි පෙට්ටි තිරය මත පෙන්නුම් කිරීමට ඇය සමත් වී ඇත. විශාල සංස්කෘතියකට උරුමකම් කියනා විශාල සෞන්දර්යකට උරුමකම් කියනා රටක් අවසානයේ කුඩා කාමරයකට ලඝු වී ඇති බව ඇය අපට කියා පායි. එසේම නිදහස පිළිබඳව සලකන කළ පෙර දවස ස්ත්‍රීන් ‘හුක්කා’ මඟින් දුම්පානය කිරීම , විශාල නිවාස, අලංකාරවත් පරිසරයන් , සංගීතය ආදිය මඟින් ඇය අපට පෙන්වයි. එහි ජීවිතය කිසිදු ආකාරයකට භාණ්ඩකරණය වී නොමැත.   ගිණි පෙට්ටි විකිණීමට යොඳා ගන්නා දැන්වීමක් සහ ගිණි පෙට්ටි මඟින් ජීවිතය නිරූපණය කිරීමේ කෙටි චිත්‍රපටය ද්විත්වයක් බව ඇය කියයි.  අදහස් යනු කිසිදා වයෝවෘධ වන්නක් නොවේ.



1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 1.00 out of 5)
Loading...
Eranda Mahagamage

3 Replies to “කෙටි චිත්‍රපටයේ සෞන්දර්ය – ගීතාංජලී රාඕගේ සිනමාව (දෙවන කොටස)”

Reply | ඔබේ අදහස්