Posted on

Cosmic Sex ( 2013)


ලිංගික ෆැන්ටසිය, ෆැන්ටසියක් නොවී යතාර්ථයක් වීම කිසි දිනෙක කිසිවෙකුටත් විවාහ ජීවිතයක් තුළ හෝ සබෑ ප්‍රේමයක් තුළ හමුවේ යැයි විශ්වාස කළ නොහැක. එය ෆැන්ටසියක් වීමට ඇති සාධක වලට වඩා එය එසේ නොවීමට ඇති හේතු කොතෙකුත් අපේ අත්දැකීම් වලට එකතු වී ඇත්ද. සමාජයේ පිරිමින්ගෙන් වැඩි පිරිසක් තමන්ගේ අම්මා වැනි කාන්තාවක් බිරිඳ කර ගනීමේ ආශාවෙන් පෙලුනද විවාහයෙන් පසුව, මාතෘත්වය පිලිබඳ ආකර්ශනය හා බිරිඳ සහ ලිංගික ආකර්ශනය තව එකක් බව අවබෝධ වූ පසු මා පෙර කියූ ෆැන්ටසියේ පැවැත්ම පිළිබඳ ගැටළු මතුවේ. මෙම චිත්‍රපටය විවාහ ජීවිතය හෝ මාතෘත්වය පිලිබඳව වූ සිනමාපටයක් නොවේ. එය, බටහිර බෙංගාලය තුළ පවතින සමජ තත්වයන් දෙකක් හමුවේ ලිංගිකත්වය යතාර්ථවාදීව ස්ථානගත වීමක්. අමිතාබ් චැටර්ජී, ලියාක්වාට් අලි සහ සුරෝජිත් සෙන් විසින් රචනා කෙරුනු, අමිතාබ් චැටර්ජී අතින් අධ්‍යක්ෂණය වූ, පුතුල් මහමූද් විසින් නිෂ්පාදනය කෙරුනු, Cosmic Sex චිත්‍රපටය 2013 දී තිරගතවූවකි. එය ලිංගිකත්වය සහ ආධ්‍යාත්මය  අතර  සම්බන්ධය  පිළිබිඹු කරන්නක්.



ක්‍රිපා, කුඩා කල සිටම  ලිංගිකත්වය පිළිබඳව කුතුහලයෙන් පසුවෙන්නෙක්. සිනමා පටයේ පළමු වෙනි රූප පෙළින් දැක්වෙන්නේ  ක්‍රිපා සහ ඔහුගේ මව අතර සිදුවන සාමාන්‍ය සිදුවීමකි. ඒ දුටු සැනින් ඔබටත් මටත් එක්වර මතකයට නැගෙන්නේ අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කරන ලද අක්ශරය චිත්‍රපටයයි. තම මවගේ මරණයෙන් පසුව තරුණ ක්‍රිපා තම පියා සමඟ අමනාපයෙන් පසු වන්නේ ඔහුගේ දෙවන විවාහය නිසාවෙනි. මවගේ මරණය ඔහුට ගෙනෙන්නේ ජීවිතයේ අත්දැකීම් රැසක මඟහැරීයාමක් විය හැකිය.

චිත්‍රපටයේ දෙවන භාගයේදී ක්‍රිපාගේ ප්‍රචණ්ඩකාරී පළායාම තුළ ඔහු ලබන අත්දැකීම් සිනමාත්මක අත්දැකීමක් ලෙස ඉදිරිපත් කරන්නේ පෙර කියූ ලිංගික ෆැන්ටසියෙන් මිදී එය යතාර්ථයක් ලෙස ගෙන ඒමට දරන උත්සාහයක් ලෙසයි. ඔහු තම කුඩම්මාගෙන් ලිංගික අත්දැකීමකට සූදානම් වීමත්, එය ව්‍යර්ථ වීමත් සහ පියාගේ මරණයත් යන සිද්ධි චිත්‍රපටය සමඟ ප්‍රේක්ශකයාගේ රඳාපැවැත්මට හේතුවක් වේ.

නමුත් මේ ලිවීම චිත්‍රපටය පිළිබඳ විචාරය කිරීමට නොවේ. මෙම චිත්‍රපටයට පාදක වන ඉන්දියාවේ බටහිර බෙංගාලයේ “බාවුල්”  නමින් හැඳින්වෙන විකල්පීය ජීවන සම්ප්‍රදායක් සහ ගායන සම්ප්‍රදායක් පිළිබද කෙටි එළඹුමක් ලෙස මෙය ලියමි. එය චිත්‍රපටයට සම්බන්ධ වන්නේ කතානායකයා වන ක්‍රිපා ට ඔහුගේ පලායෑම තුල දී මුණ ගැහෙන තම මවට බොහෝ සෙයින් සමාන සදාවී නම් තරුණිය නිසාය. ඇය නියෝජනය කරන්නේ මෙම බාවුල් නැමැති ජන කණ්ඩායමයි.


බටහිර බෙංගාලයේ බාවුල්වරු


The Bauls of Bengal

“බාවුල්” යනු විවිධ ආගමික මතවාද සහ සෘජු දාර්ශනික එකඟතාවයන් වලින් වියුක්තව හැසිරෙන අදේවවාදී ජන කණ්ඩායමකි. නමුත් ඔවුන් හින්දු වෛශ්නවවාදයෙන්, ඉස්ලාම් සුෆීවාදයෙන් හා තන්ත්‍රයානික සහ සහජයානික බෞද්ධ දර්ශනයේ ඇතැම් සාරයන් තම ජීවන සම්ප්‍රදායට සම්බන්ධ කරගත් පිරිසක් වෙති. ඔවුන් තමන්ගේ ප්‍රකාශනය දහස් ගනණින් වන බාවුල් ගීත හරහා ඉදිරිපත් කරයි. ඉන්දීය සමාජයේ හෝ බෙංගාලි සමාජයේ ප්‍රධාන ධාරාවේ සාම්ප්‍රදායික පුද්ගලයෙකුට වඩා බාවුල් වරයෙකුගේ පෙනුම මදක් වෙනස්ය. ඔවුන් රැවුල් හිසකෙස් වවාගත්, තැඹිලි පැහැ ඇඳුම් ඇඳගත්, විශාල රුද්‍රාක්ශ ඇට වැල් කර ලා ගත් ‘ඒක් තාරා’වක් (බෙංගාලයේ, එක තතක් පමණක් ඇති වාද්‍ය භාණ්ඩයකි) රැගෙන ගෙයින් ගෙට ගොස් ගීත ගායනා කරමින් සිඟමන් අයදින සංචාරක සංගීත කණ්ඩායමකි. ඔවුන් හඳුන්වන්නේ සන්‍යාසීන් ලෙසය. ඔවුන් බ්‍රහ්මචාරී ජීවිත ගත කරන්නෝය. ඇතැම් බාවුල්වරු විවාහක පවුල් ලෙස යැපෙන්නන්ගෙන් තොර (දරුවන්) ‘අකාරා’ නම් කුඩා පැල්පත්වල වාසය කරති. මෙම දෙපිරිසගේ දාර්ශනික මතවාද සහ විශ්වාසයන්ගේ භාවිතය සමාන වුවද ඔවුන්ගේ ජීවන රටාවන් අනුව දෙපිරිසකි.


Debdas Baul “Time is Running Out”

බාවුල්වරුන්ගේ එකම දර්ශනය සහ විශ්වාසය වන්නේ ඔවුන්ගේ ම ශරීරයයි. එය ඔවුන් හඳුන්වන්නේ ‘Dehattya’ (ශරීරය තුළින් මෝක්ෂය සොයා යෑම)ලෙසයි. ඔවුන්ගේ විශ්වාසය දෙවියන් හෝ උත්තරීතරත්වය තම ශරීරය තුළ පවතින බවය. ඔවුන් භෞතික ලෝකය සහ දේවත්වය දකින්නේ තම ශරීරය ඒ සඳහා පුහුණු කිරීමෙනි. එය සාධනා (Sadhana) නම් වේ. එය කායිකවත් මානසිකවත් සිදු කරනු ලබන්නකි. අනෙක් කාරණය වන්නේ ඔවුන්ගේ පුහුණු කිරීම් තුළ අන්තරීක්ෂ රතිය (Cosmic sex), අන්තරීක්ෂ ප්‍රේමය (Cosmic love), අන්තරීක්ෂ ශක්තිය (Cosmic energy) සඳහා ආධ්‍යාත්මික මෙන්ම ශාරිරික පුහුණුවක් ලබා ගැනීමයි. පිරිමි බාවුල්වරයෙකුට ඒ සඳහා වන සහායිකාව සංගිනී (Sangini) ලෙස හැඳින්වේ. ඔවුන්ගේ  සෑම ලිංගික වතාවතක්ම උත්තරීතර අත්දැකීම් බවට පත්වෙයි. ඔවුන් ලත් සෑම අත්දැකීමක්ම ගීත බවට පත්වෙයි. ඔවුන්ගේ කණ්ඩායමේ සියල්ලන් එක්වන අවස්ථාවක ඒවා ගායනා කරනු ලබයි. මෙම ගීත වල භාෂාව සාමන්‍ය බෙංගාලි භාෂාවට වඩා වෙනස්ය. ඔවුන් ඒ සඳහා උපමා රූපක ආදිය භාවිතා කරමින්, දෙවන අර්ථයක් ඒ මගින් අපේක්ෂා කරයි. එය සහජයානික චර්‍යාපද වලින් ලත් ආභාශයක් බව මානව සංගීත විද්වතුන් පෙන්වා දේ.

බාවුල් සංස්කෘතියේ කාන්තාව ස්ථානගත වන්නේ සාම්ප්‍රදායික ඉන්දීය සමාජයේ ස්ත්‍රීයගේ ස්ථානයේ නොවේ. බාවුල්වරුන් කාන්තාව සහ කාන්තා ශරීරය ඉතාමත් ගෞරවයට ලක් කරයි. ඔවුන්ගේ ගීත තුළද කාන්තාව ගෞරවය ලැබිය යුතු බවත් පිරිමි සහකරුවන්ට ගුරුවරුන් වන බවත් දක්වයි. Cosmic sex චිත්‍රපටය තුළින් හමුවෙන සදාවී නම් බාවුල් තරුණිය ක්‍රිපාට රැකවරණය ලබා දෙමින් ඔහු සමඟ වාසය කරන්නේ ඔහුට මඟ හැරුණු මාතෘත්වය සම්බන්ධ සියලු අත්දැකීම් මෙන්ම ලිංගික ෆැන්ටසිය තුළ ඔහුට මඟ හැරුණු සියලු අත්දැකීම් ආධ්‍යාත්මික ප්‍රවේශයකින් ලබා දීමටයි. වරෙක ඇය ඔහුට ප්‍රකාශ කරන්නෙ ඇය ඔහුගේ මව බවත් ඔහුගේ ගුරුවරයා බවත්ය. ඉන්දීය පුරුෂෝත්තම සමාජය තුළ කාන්තාවට එවැනි ස්ථාන ගතවීම් අවම වේ. නමුත් මෙම බාවුල් සම්ප්‍රදාය තුළ කාන්තාව සමානාත්මතාවයෙන් යුක්තව සැළකේ. ඔවුන් විශ්වාස කරන්නේ පිරිමි, ගැහැණු භේදයකින් තොරව දෙවියන්ට තම ශරීරය තුළ වාසය කළ හැකි බවයි. ලිංගිකත්වය හුදු ෆැන්ටසියක් නොවී එය යථාර්ථයක් වීමට ගැහැණු හෝ පිරිමි භේදයකින් තොරව පුහුණු කළ යුතු බොහෝ දෑ බාවුල් සංස්කෘතිය තුළින් ලබා ගත හැකිය.


Ektara, Duggi and Vocals: Parvathy Baul

මෙම චිත්‍රපටයේ සිනමාත්මක රූප මගින්  එහි ඇති සංගීතමය ප්‍රවේශය පවා සජීවී අත්දැකීමක් බවට පත්කරයි. ඔවුන් ගත සහ මනස සමග ගනුදෙනු කරන්නන් නිසා කිසිදු ගීතයක් පොතක ලියා සංරක්ෂණය කිරීමක් අදටත් ඔවුන්ට අවශ්‍ය නැති තරම්. නමුත් 2005 වර්ශයේදී යුනෙස්කෝව විසින් බාවුල් සම්ප්‍රදාය වාචික හා අස්පෘශ්‍ය මානව උරුමයක් බවට පත් කිරීම මගින්, බාවුල් පිළිබඳ ඉන්දීය සහ බටහිර පර්‍යේෂකයින්, මානව විද්වතුන් හා මානව වංශ සංගීත්වේදීන් ගේ අවධානයට ලක්ව ඔවුන් අතින් ලියැවුනු පර්යේෂණ කෘති තුළ බාවුල් ගීත බොහෝ ප්‍රමාණයක් ඇතුළත් කර ඇත. Cosmic sex චිත්‍රපටය තුළින් බාවුල් සමාජය පිළිබඳ ගැඹුරු කියවීමක්, සිනමාත්මක අත්දැකීමක් ලෙස ඉදිරිපත් වීම ම එක්තරා අකාරයකට බාවුල් පිළිබඳ අවබෝධයක් ලැබිය හැකි අවස්ථාවක් බවට පත් කරයි. බාවුල් යනු සීමාවකින් තොරව අධ්‍යයනය කළ හැකි මානව විද්‍යාත්මක සහ සංගීත විද්‍යාත්මක ක්ශේත්‍රයක් බැවින් ඒ සඳහා ලංකාව තුළ කිසිදු කතාබහක් මේ වෙනකොට සිදු නොවී තිබීම ම, ඔබට ඒ පිළිබඳ සෙවීමට අලුත් අවස්ථාවක් සපයයි. සංස්කෘතියකින් වෙන් වන උපසංස්කෘතියක් තුළ ප්‍රධාන සංස්කෘතියේ නොවන ඇතැම් දාර්ශනික සංසිද්ධීන් මුළු මානව සමාජය පිළිබඳ ප්‍රශ්න කරන අවස්ථාවක් ලෙස බාවුල් හඳුනාගත හැකිය. බාවුල් පිළිබඳ කලාත්මක හා යථාර්තවාදී සමාජ කියවීමකට ඔබට ඉහත දෑ ප්‍රයෝජනවත් වේවි.


1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 4.00 out of 5)
Loading...
Nilu Dilhani

Reply | ඔබේ අදහස්