Posted on


කලින් ලිපියෙන් (පළමු කොටස) අපි හයාවෝ මියසාකිගේ ඇනීම් (Anime) සිනමා කෘති පහක් හදුනාගත්තා. මේ ලිපියෙනුත් තව සිනමා කෘති පහක් හඳුනා ගන්න තමයි මේ සූදානම. මෙතෙන්දි කියන්න ඕන දෙයක් තමයි මියසාකි වැඩි වශයෙන් එයාගේ නිර්මාණ කරන්නේ ළමුන් වෙනුවෙන්. ඒ නිසා එයා ඒ ගැන හරිම සැලකිල්ලෙන් තමයි මේ නිර්මාණ කරන්නේ.

මේ චිත්‍රපට බැලුවොත් ඔබට තේරේවි ළමා මනසට ආමන්ත්‍රණය කරන සිනමා කෘතියක් කියන්නේ මොකද්ද? එහෙම එකක් නිර්මාණය කිරීම කියන්නේ කොච්චර බැරෑරුම් දුෂ්කර කාර්‍යයක්ද කියන එක. ඒ වගේම ලංකාවේ රූපවාහිනී නාළිකාවල උදේ පාන්දර ළමා සිනමාව කියලා පෙන්වන සිනමා කෘති සහ මේ සිනමා කෘති අතර කෙතරම් පරතරයක් තියෙනවද යන්නත් ඔයාට වැටහෙන්න ගනීවී.

එහෙනම් මියසාකිගේ ඉතිරි චිත්‍රපට ගොන්න බලමු.


06. Nausicaä Of The Valley Of The Wind (1984) ‘නවුෂ්කා’ හෙවත් මාරුත නිම්නයේ කුමරිය



දවස් හතේ මහා ගින්නකට පසුව ලෝකයේ මුල් කාලීන ශිෂ්ටාචාර සියල්ල විනාශ වේ. එයින් වසර දහසක් ඉක්ම ගිය තැන අපේ කතාවේ ආරම්භය වේ. මේ කාලය වන විට මුහුද මියගොස් ඇත. පරිසරය ගස් වැල් ආදී සියලු වෘක්ෂලතා නැති පාළු මුඩු බිම් බවට පත්ව ඇත. එහෙත් අතරින් පතර කලාතුරකින් මිනිස් වාසයක් දැක ගත හැකිය. අපේ කතා නායිකාව එවැනි සරු නිම්නයක නායක පවුලේ එකම දියණියයි. නිම්නයේ කුමරියයි.

‘නවුෂ්කා’ ඉතා කරුණාවන්ත කුමරියක්. ඇය සතුන්ට මිනිසුන්ට ගහ කොළට ඒ වගේම කෘමීන්ටත් එක වගේ ආදරෙයි. නමුත් මේ යුගයේ සරු පොළව හිඟ නිසා නවුෂ්කාගේ මේ සරු නිම්නය මංකොල්ල කන්න පිරිසක් එනවා. හැබැයි කරුණාව දයාව ආදරය තම අවිය කරගෙන ඉන්න නවුෂ්කා කුමරියට එකදු මනුෂ්‍ය ජීවිතයක් විනාශ නොකට සිදු වෙන්නට ගිය මහා ඛේදවාචකයක් නවත්වන්න පුළුවන් වෙනවා.


07. Castle in the Sky (1986)
අහසේ පාවෙන මාළිගාව



‘ෂීටා’ කියන්නේ අභිරහසක් පරම්පරාවකින් පැවත එන නමුත් ගමේ අහිංසක පුංචි කෙල්ලක්. එයාගේ අම්මා තාත්තා දෙන්නම නෑ. ඒ නිසා ෂීටා හැදෙන්නේ වැඩෙන්නේ ආච්ච්ත් එක්ක. ඉතින් ෂීටා ට ලැබෙනවා පරම්පරාවෙන් උරුම වෙන අමුතු පෙන්ඩනයක්. මේ පෙන්ඩනය කොච්චර වටිනවද කියන්නේ ඒක ලබා ගන්න ඕන නිසා රජයෙ හමුදාවනුත් අහස් මංකොල්ලකාරයොත් දෙගොල්ලම ෂීටාව පැහැරගන්න බලනවා.

මේ අතර ෂීටා ට ‘පසූ’ කියන කරුණාවන්ත කොලු පොඩ්ඩාව මුණ ගැහෙනවා. ‘පසූ’ගේත් අම්මා තාත්තා දෙන්නම නෑ. පසූ ට තියෙන ලොකුම හීනය තමයි තමන්ගේ තාත්තා තමන් පොඩි කාලේ කියල දීපු ‘ලැපියුටා’ රාජධානිය හොයාගන්න එක. ඉතින් මේ දෙන්නට ගොඩක් ලොකූ කරදර වලට මූණ පාන්න වෙනවා කතාවේ ඉස්සරහට. ඉතින් මේ දෙන්නාට ලැපියුටා රාජධානිය හොයාගන්න පුළුවන් වේවිද? බලන්න Castle in the Sky.


08. Kiki’s Delivery Service (1989)
කිකී ගේ ඩිලිවරි සේවය



‘කිකී’ කියන්නේ පුංචි මායාකාරීයක්. ඒ නිසා කිකී ට හොඳට කොස්ස පදින්න පුළුවන්. කිකීගේ පරම්පරාවම මායාකාරියෝ තමයි. ඉතින් සම්ප්‍රදායානුකූලව අවුරුදු දහතුන පිරුණ නිසා කිකී තමන්ගේ පවුලෙන් වෙන්වෙලා මායාකාරියක් හැටියට රස්සාවක් හොයාගෙන ඈත නගරයකට යන්න ඕන. හැබැයි කිකී ගේ තනියට නිතරම ‘ජිජී’ කියන කළු බළලා ඉන්නවා. ඉතින් කිකී තමන්ගේ හැම සැප දුකක්ම බෙදාගන්නේ ජීජී එක්ක. ජිජීත් නිකම් ඉන්නේ නෑ. කිකී කරදරේ වැටෙන හැම වෙලේම එයාට උදව් කරනවා.

ඔන්න ඉතින් මේ දෙන්නා එන්නේ කොරිකෝ කියන වරාය නගරයට. මෙතෙන්දි ඉතින් රස්සාවක් හොයන් ගිය කිකීට ලොකු ලොකු අලකලංචි ගොඩකට මූණ දෙන්න සිදු වෙනවා. හැබැයි ඒ අතරේ කිකීට තොම්බෝ කියන පිස්සු කොල්ලවත් මුණගැහෙනවා.

කිකී කොහොමද රස්සාවක් හොයාගත්තේ? බලන්න කිකී ගේ ඩිලිවරි සේවය.


09. Porco Rosso (1992) – සූකර ‘රෝසා’



සූකර රෝසා කියන්නේ පළවෙනි ලෝක යුද්ධයට ගුවන් බටයෙක් විදියට දායක වුණ ඉතාලි ජාතික තරුණයෙක්. හැබැයි යුද්ධේ දරුණු අත්දැකීම්වලින් පස්සේ රෝසාට තියෙන්නේ ඌරු මූණක්. රෝසා ඉතාම දක්ෂ ගුවන් බටයෙක් වුණාට නැවත කිසිඳු යුද්ධයකට දායක නොවෙන්න රෝසා තීරණය කරන් ඉන්නවා. මොකද එයාගේ සමීපතම මිතුරන් සේම සතුරනුත් විනාශ වෙලා ගිය හැටි ගැන රෝසා ට තියෙන්නේ හරිම සංකාවක්. කළකිරීමක්. ඒ නිසා රෝසා ඉන්නේ තනියම.

හැබැයි ගුවන් මංකොල්ලකාරයන්ගෙන් රෝසාට තියෙන කරදර ඉවරයක් නෑ. මොකද ගුවන් මංකොල්ලකාරයන්ට එයාලගේ මංකොල්ලා වැඩ පාඩුවේ කරන් යන්න මේ රෝසා ඉඩ දෙන්නේ නෑ. ඒ නිසාම සියලු ගුවන් මංකොල්ලකරයෝ බලන් ඉන්නේ රෝසා ට වැඩක් දෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ නිසා ඒ ගොල්ලා රෝසාට විවෘත අභියෝගයක් කරනවා ගුවන් සටනකට එන්න කියලා. රෝසා සටන් කරන්න අකමැති වුණත් ෆියෝ කියන පුංචි කෙල්ල නිසා රෝසාට අභියෝගය බාර ගන්න වෙනවා. රෝසාට සටන ජය ගන්න පුළුවන් වේවිද? බලන්න සූකර රෝසා!


10. The Wind Rises (2013) – සුළඟ නැඟෙයි!



මියසාකි මේ චිත්‍රපටිය හදන්නේ ‘ජිරෝ හොරිකෝෂි’ (Jiro Horikoshi) කියන ජපානයේ හිටපු දක්ෂ ගුවන් යානා ඉංජිනේරුවකුගේ ජීවිතය පාදක කරගෙනයි. ඒ වගේම තත්සෝව් හෝරි (Tatsuo Hori) කියන නවකතා කතා කරුවාගේ ‘The Wind Has Risen කියන නවකතාවත් මියසාකිගේ ම ජීවිත අත්දැකීමුත් මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙනවා.

ජිරෝ හොරිකෝෂි ට පුංචි කාලේ ඉදලා ගුවන් නියමුවෙක් වෙන්න පුදුම ආසාවක් තියෙන්නේ. ඉතින් මෙයා ගුවන් යානා ගැන තියෙන පොත් පත් කියවන්නේ හරිම ආසාවෙන්. ජිරෝ ට මේ පොත් පත් වලින් ඉතාලි ජාතික සුප්‍රසිද්ධ ගුවන් යානා ඉංජිනේරු ‘ජියෝවානි බැටිස්ටා කැප්රෝනි’ ගැන දැනගන්න ලැබෙනවා. ඊට පස්සේ හැම රෑකම කැප්රෝනි එනවා ජිරෝ ව බලන්න. ඉතින් ඒ දෙන්නා එකතුවෙලා ගුවන් යනා ගැන ගොඩක් දේවල් කතාබහ කරනවා. කැප්රෝනි නිසා ගුවන් නියමුවෙකු වීමේ සිහිනය වෙනුවට ගුවන් යනා ඉංජිනේරුවෙකු වීමේ සිහිනය ජිරෝට ලැබෙනවා. ටිකෙන් ටික තරුණ වියට පය තබන ජිරෝ තමන්ගේ සිහිනය සැබෑ කරගන්නේ කොහොමද? ජිරෝ ගේ පෙම්වතිය ඔහුට හමුවෙන්නේ කොහොමද? ඇයට සිදුවන්නේ කුමක්ද? බලන්න The Wind Rises!


Retirement | සමුගැන්ම

Hayao Miyazaki announces his retirement during a press conference in Tokyo

1979 දී The Castle of Cagliostro චිත්‍රපටිය කරමින් තමයි මියසාකි වෘතාන්ත චිත්‍රපටි ලෝකෙට අඩිය තියන්නේ. ඒ වගේම 2013 දී The Wind Rises චිත්‍රපටිය කරන්නේ තමන්ගේ සිනමා ජීවිතයේ අවසන් වෘතාන්ත චිත්‍රපටිය විදියට. The Wind Rises චිත්‍රපටය හැදුවට පස්සේ මියසාකි විසින් මාධ්‍ය සාකච්ඡාවක් තියලා තමන් සිනමා නිර්මාණකරණයෙන් විශ්‍රාම ගන්නා බව ලෝකෙට කියනවා. ඒක දරන්න අමාරු පණිවිඩයක්.


11. The Castle of Cagliostro (1979)
කලිඔස්ත්‍රෝ මාළිගාව



තුන්වැනි ලුපින්(Lupin the Third) කියන්නේ හොරුන්ගෙත් හොරෙක් කිව්වොත් හරියටම හරි. ඕනෑම ලෝක මට්ටමේ හොරකමක් කරන්නත්, කරපු ගමන් එතනින් වාශ්ප වෙලා මාරු වෙන්නත් ලුපින් දක්ෂයා. මේ හැම හොර වැඩකටම ලුපින් එක්ක එකට ඉන්න බොක්කේ මිත්‍රයා තමයි දයිසුකේ ජිගෑන් (Daisuke Jigen) කියන්නේ. ඉතින් මේ දෙපළට අතරමගදී මුණගැහෙනවා කලිඔස්ත්‍රෝ මාළිගාවේ කුමරියව. ඒ ඇය මාළිගාවෙන් පැන යන අතරතුර. ලුපින් සහ ජිගෑන් උත්සාහ කරනවා මාළිගයේ ආරක්ෂ්කයින්ගෙන් කුමරියව බේර ගන්න. ඒත් වැඩක් වෙන්නේ නෑ. හැබැයි ලුපින් වැඩේ අත අරින්නේ නෑ. ඔහු දිගින් දිගට කලිඔස්ත්‍රෝ කුමරිය ගැන හොයලා බලනවා.

එතකොට ලුපින් ට පේනවා රටේ යුවරජු, කලිඔස්ත්‍රෝ කුමරියව බලෙන් විවාහ කරගන්න හදන බව. ඒකට හේතුව කුමරියගේ ගේ පරම්පරා අයිතිය උරුමකරගන්න. ඒ වගේම යුව රජු කලිඔස්ත්‍රෝ මාළිගය යට ලොකුවට කරගෙන යන මහා පරිමාණයේ වංචාවක් සොයාගන්නත් ලුපින්ට පුළුවන් වෙනවා. ඒ විතරක් නෙමේ මේ අස්සේ ලුපින්ට කුමරිය ගැන ආදරයකුත් ඇති වෙනවා. ඉතින් දැන් වැඩේ ලේසි නෑ. ලුපින් හොරා කොහොමද කලිඔස්ත්‍රෝ කුමරිය බේරගන්නේ ? බලන්න The Castle of Cagliostro.


12. Upcoming Movies | තාම ඉවර නෑ



ලෝකෙට ම අණබෙර ගහලා තමන් චිත්‍රපටි නිර්මාණකරණයට සමුදෙනවා කිව්වාට, අවුරුද්දක් දෙකක් යනකොට මියසාකිට ගෙදර ගිහින් නිකම් ඉන්න බැරි වෙනවා. ඉතින් ඔන්න ආයෙත් කෙටි චිත්‍රපටියක් කරනවා Boro the Caterpillar කියලා 2018 දී. ඒ කරලත් මේ වයස මනුස්සයට ඇති වෙන්නේ නෑ. බැරිම තැන ආයෙත් දිග චිත්‍රපටියක් කරනවා. ඒ තමයි How Do You Live? ඒක මේ අවුරුද්දේ ඒ කියන්නේ 2020 නිකුත් වෙන්න නියමිතයි කියන සුබ පණිවිඩය අපිට තියෙනවා.   


1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 3.33 out of 5)
Loading...
Avatar

Reply | ඔබේ අදහස්