Posted on

ඕනෑම කලාකරුවෙකු තමන්ගේ කලාව උදෙසා අපරිමිත කැපකිරීම් රාශියක් සිදු කරනු ලබන අතර  ඇතැම්විට එය ඔහුගේ  ජීවිතයේ පාර්ශවීය බැඳීමක් බවට පත්කර ගනී. කලාවක පැවැත්ම රඳා පවතින්නේ ඒ තුළ පූර්ණ කාලීන කැපවීමෙන් යුත් කලාකරුවන් සිටියහොත් පමණි. එම කැපවීම සංවිධිත පුහුණුවක් හරහා සිදුකිරිම මගින් හුදු කලාත්මක පරිකල්පනය, විශේෂඥතාව,  අත්දැකීම් පමණක් නොව  කලාවේ   ශාස්ත්‍රීයමය සහ වෘත්තීයමය  අවකාශයන්  ස්ථාපිත කිරීමට අවශ්‍ය හික්මීම නොහොත් විනය(discipline) වර්ධනයක් සිදුවේ. බටහිර බැලේ නර්ථනයක් බලන ඔබට ඒ තුළ බොහෝ විචිත්‍රවත්  චලන රාශියක් දැකිය හැකියි.  නමුත්  එහි කොතෙකුත් වැටීම්, බිඳීම්, රිදීම් මෙන්ම  ඇතැම් අවස්ථාවලදී මානසික මෙන්ම ශාරීරික වශයෙන් කොතෙකුත් දරා ගැනීම් ඒ තුළ ඇති ද? ඔබ කිසියම් වාදනයක් රස විඳිනවා විය  හැකියි.සියුම් සුසරයක වෙනසකට පවා අතිශය සංවේදී වන්නට තරම් ලබන පුහුණුව කෙතරම් සූක්ෂම විය යුතුද. තමා පුහුණු කරවා ගත් කලාව  සජීවී මාධ්‍යයක් ඔස්සේ ප්‍රේක්ෂකයා වෙත රැගෙන යාමේ කාර්යය දක්වා එහි ඇත්තේ විනය පවත්වා ගැනීමකි. එය ගායකයෙකුගේ, වාදකයෙකුගේ, නර්තන ශිල්පියෙකුගේ හෝ වෙනයම් කලා ශිල්පයක දි වුව කලාත්මක ශක්‍යතාවය මෙන්ම, ඔවුන්ගේ ප්‍රාසංගික පෞරුෂය පෙන්වන්නකි.



තමාට තමා පිළිබඳ විශ්වාසය අන් කවර ශක්තියටත් වඩා ඉහළ බව සිනමාත්මකව ඉදිරිපත් කරන්නක් ලෙස “Whiplash”චිත්‍රපටය හැඳින්විය හැකිය. මෙම චිත්‍රපටය, ත්‍රාසජනක සිනමාපටයක් නොවන නමුත් ‍ ත්‍රාසජනක චිත්‍රපටයකට වඩා  දැඩි ආතතියක් ඇති කරනු ලබන, සෑම විටම උච්චතම අවස්ථාවක් මගින් එකී අත්දැකීම ප්‍රේක්ෂකයාට ලබා දෙන සිනමා කෘතියක් හැඳින්විය හැකිය. සංගීතඥයන් පිළිබඳව හෝ කිසියම් සංගීත ශානරයක් පිළිබඳව වන චිත්‍රපටයක් කිරීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එයට හේතු වන්නේ කතාව පිටුපස ඇති සැබෑ සංගීතය කෙරෙහි ප්‍රේක්ෂකයා සතුව ඇති භක්තිය සහ රසඥතාවයට ප්‍රතිලෝමව සමානුපාතික තෘප්තියක් නළු නිළියන්ගේ සහ සෙසු සිනමානාත්මක කර්තව්‍යයන් ගේ දායකත්වය ඔස්සේ ලබා දිය යුතු නිසාය. “Whiplash” චිත්‍රපටය 2014දී Damien Chazelle විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුවකි. එය jazz ප්‍රසංගයක්  නැරඹීම හා සමානය.  චිත්‍රපටය පුරා  සංගීතය යොදාගනිමින් එක් රූප රාමුවක සිට තවත් රූපරාමුවක් දක්වා අවස්ථාව සම්බන්ධීකරණය කිරීම මෙහි ඇති  සුවිශේෂීත්වයයි.  ඇතැම්විට  පසුබිමෙන් ඇසෙන සංගීතය  ඊළඟ රූප රාමුව තුළ  සජීවීව  වාදනය වේ.  සංගීත සංකලණය (Sound Mixing) සඳහා වන ඔස්කා  සම්මානය whiplash චිත්‍රපටය වෙනුවෙන් 2015 වර්ෂයේදී පිරිනැමුණු අතර එහි සංගීතය Justin Hurwitz විසින් සිදුකර ඇත.සිනමාලෝලීන්ට මෙන්ම  සංගීතය පිළිබඳ අත්දැකීම් ඇත්තන්ට මෙම චිත්‍රපටය අතිශය සමීප වනු ඇත. මන්ද යත්  චිත්‍රපටය ආරම්භයේ සිට අවසානය වන තෙක් ප්‍රේක්ෂක හෘදස්පන්දනය චිත්‍රපටයේ රිද්මයට සමපාත කර ගැනීමට  නිර්මාණකරුවන් සමත්ව ඇති නිසාය.

Andrew Neiman නිව්යෝර්ක් නගරයේ කීර්තිමත් සංගීත පාසලක් වන Shaffer conservatory හී පළමු වැනි වසර ශිෂ්‍යයකි. ඔහුට කුඩා කල සිටම ඩ්‍රම්ස් වාදනය සඳහා දැඩි ආශාවක් හා කැපවීමක් තිබු අතර Buddy Rich (අතිදක්ෂ ඇමරිකානු ජෑස් ඩ්‍රම්ස් වාදනශිල්පියෙකි) වැනි ලෝක මට්ටමේ වාද්‍ය ශිල්පියකු වීමට අපේක්ෂා කරයි. Terence Fletcher එම සංරක්ෂණාගාරය නියෝජනය කරන දක්ෂතම ජෑස් කණ්ඩායම මෙහෙය වන්නා (orchestra Conductor) වෙයි. ඇන්ඩෘගේ පුහුණුවීමක් අතරතුර  ටෙරන්ස් විසින් විකල්ප ඩ්‍රම්ස් වාදකයකු ලෙස ඔහුගේ කණ්ඩායමට සහභාගී වන්නට ඔහුට ආරාධනා කරයි.එය ඔහුගේ ජීවිතේ තිබූ එක්  බලාපොරොත්තුවක් සාර්ථක වීමකි. නමුත් පිටතින් පෙනෙන වාතාවරණය එම නොවන බවට ඔහුට ඒත්තු ගැන්වෙන්නේ ෆ්ලෙචර් ගේ සිසුන් හැසිරවීමේ විලාසය අතිශය නින්දාසහගත සහ පීඩාකාරී බව අවබෝධ වීමෙන් පසුවය. පළමු පුහුණු සැසියෙදී කණ්ඩායමේ Trombone වාදකයකු ගේ  සියුම් ස්වර අස්ථාවර වීමක් නිසා ඔහුට කණ්ඩායම හැර යාමට සිදුවන්නේ තම මුළු ආත්මයම පාවා දෙමින් කරන ලද  ෆ්ලෙචර්ගේ  දෝෂාරෝපණය හමුවේය.  එය අතිශය පීඩාකාරී ය. එහි දෙවැන්නා කවුරුන් විය හැකි දැයි තමන් පිළිබඳවම දෙගිඩියාවෙන් පසුවීම  එහි  සිටින පිරිසටත්, චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයාටත් එකසේ පොදු කාරණාවකි. 



“whiplash”යනු Hank levy නම් සංගීත රචකයාගේ  ප්‍රසිද්ධ ජෑස් සංගීත ඛණ්ඩයකි. ෆ්ලෙචර් ගේ විධානය යටතේ ඇන්ඩෘට මෙම වාද්‍ය ඛණ්ඩය පුනරාවර්තනය කිරීමට සහ අදාල රිද්මය පවත්වා ගැනීමට නොහැකි වේ.  ඒ සඳහා ඔහුට ලැබෙන්නේ ඉතාමත් සීමිත කාලයකි.  එය කිසිසේත් ප්‍රමාණවත් නොවේ.  ක්ෂණයෙන් ෆ්ලෙචර් විසින් ඇන්ඩෘගේ හිසට එල්ල කරන පුටුවකින් ඔහු තම හිස බේරා ගන්නේ අසීරුවෙනි.මෙය උමතුවකි. නමුත් ෆ්ලෙචර්, තම සීමාව ශිෂ්‍යයන්ගෙන් ඔබ්බට තල්ලු කරමින් එය සාධාරණීකරණය කරන්නේ Charlie parker (ඇමරිකානු ජෑස් සැක්සෆෝන් වාදකයෙක් සහ සංගීත රචකයෙකි. ඔහුට “bird” නමින් අන්වර්ථ නාමයක්ද වේ )ගේ කතාවක් පුනරාවර්තනය කිරීමෙනි.



ඇන්ඩෘ, සාමාන්‍ය jazz කණ්ඩායමක ඩ්‍රම්ස් වාදකයෙකු වුවත් මේ මොහොතේ ඔහු නිව්යෝර්ක්හි දක්ෂතම සහ ප්‍රසිද්ධ jazz කණ්ඩායමක නියෝජිතයෙකි. ඒ සඳහා ඔහුගේ කැපවීමකොතෙක්දයත්, ඇඟිලි කරු පුපුරා  ලේ ගලනතුරු ඔහුපුහුණුවීම් සිදු කරන්නේය. එපමනක් නොව ඒ සඳහා අවධානය රඳවා ගත යුතු හෙයින් ඔහුගේ පෙම්වතිය ද අත්හැර දමන්නේය.එහි පීඩනකාරී සහ වේදනාකාරී හැඟීම්ම ඔහුව එම  පුහුණුවේ සාර්ථකත්වයට තල්ලු කරනු ලබයි. එයින් ඔහුට ෆ්ලෙචර්ගේ අවධානය දිනා ගත හැකිය.ඊටත් වඩා  ඔහුට අවශ්‍ය වන්නේ, ෆ්ලෙචර්ගේ දෝෂාරෝපණයට ලක් නොවී සිටීමයි.අනෙක් කාරණය ඔහුගේ ස්ථානය වෙනත් අයෙක් සතුවීමට ඉඩ නොතබා සංගීත කණ්ඩායම තුළ තම පැවැත්ම තහවුරු කර ගැනීමයි.මෙතරම් දක්ෂ සහ කැපවීමකින් යුතු වාද්‍යය ශිල්පීන් පිරිසක් හමුවේ ෆ්ලෙචර් ගේ හැසිරීම  ප්‍රශ්නකාරී ය.කතාව තුළ කිසිවක් සාධාරණීයකරණය කරගත නොහැකි ආකාරයෙන්චිත්‍රපටයේ යටිපෙළ ඔස්සේ කලාකරුවකුගේ හෝ ඕනෑම වෘත්තිකයෙකුගේ  මනා පුහුණුව තුළ පවතින යථාර්ථය නියෝජනය කරයි. ඕනෑම ආකාරයක සංවිධිත පුහුණුවක් තුළ පීඩනයක් පවතී. එය ශාරීරිකවත් මානසිකවත් අපේක්ෂා කළ හැකිය.එකී පීඩනය ම යම් අවස්ථාවක  අපව අරමුණ වෙත යොමු කරවයි. ඕනෑම කෙනකුට සිතිය හැක්කේ ෆ්ලෙචර් ගේ හැසිරීමසාධාරණ නොවන බවයි. නමුත්  චිත්‍රපටය තුළ, යටි පෙළින් කියවෙන්නේ සංවිධිත පුහුණුවක ඇති සංකීර්ණතාවය නොවේද?



කිසියම් විනය පද්ධතියක් සඳහා යමෙකු ලබන පුහුණුවත්,  කැලෑ අශ්වයෙක් මෙල්ල කිරීමත් ( Breaking the horse) යන දෙකම  එක හා සමානය. පක්ෂපාතිත්වය හෝ විශ්වාසනීයත්වය රඳා පවතින්නේ පොදුවේ ඔවුන් ලබාගන්නා පුහුණුව මතය.  ඉබාගාතේ දිව යන කැලෑ අශ්වයෙක් පෙරට්ටුවක් සඳහා මෙල්ල කිරීම එතරම් පහසු නොවන අයුරින්ම කිසියම් පුද්ගලයෙකු විනය පද්ධතියකට යොමු කිරීම  ලෙහෙසි කටයුත්තක් නොවෙයි. තම ගෞරවාන්විත ස්වාමියා අනුගමනය කරමින් ඔහුගේ පිටුපස යෑමට තරම් විශ්වාසනීයත්වයක් හා යටහත්  බවක් ඔහු ලබන විධානයන් තුළ තිබිය යුතුය.  ඒ සඳහා නිවැරදි විනයක් පුහුණු කළ යුතුවේ.චිත්‍රපටය තුළ මේ අවදානම ගනු ලබන්නා ෆ්ලෙචර් ය. ෆ්ලෙචර් මෙල්ල කරනුයේ ඇන්ඩෘගේ තාරුණ්‍යයි. ආත්ම විශ්වාසය හා දක්ෂතාව යන දෙකම  ඇන්ඩෘ සතු වුවද පද්ධති ගත විනය සැකසෙනුයේ ෆ්ලෙචර් අතිනි.  ඔහුගේ ක්‍රමය තරමක් වෙනස් යයි යමෙකුට සිතිය හැකිය. උදෑසන 9ට ආරම්භ කළ යුතුව ඇති පුහුණු සැසිය නියමිත වේලාවට තත්පරයක්වත් නොවෙනස්ව සිදුවනුයේ ෆ්ලෙචර් විසින් භාවිත පුහුණු විනයයි.

ආතතිය යනු නරකම දේ අපේක්ෂා කරන අතර ම හොඳම දේ බලාපොරොත්තු වීමයි.  කණ්ඩායමට සුදුසුම දක්ෂතම ඩ්‍රම්ස් වාදකයා තමන් බව ඇන්ඩෘදනී. ඒ ඔහුගේ ආත්ම විශ්වාසයයි. නමුත් එකී නියම චිත්තවේගයේ ප්‍රතිවිරුද්ධය පාවිච්චි කරන්නේ ෆ්ලෙචර්ගේ චරිතය හරහාය. විටෙක ඔහුගේ විශ්වාසය ෆ්ලෙචර් විසින් ඩැහැගනු ලබයි.

“If you deliberately sabotage my band, I will fuck you like a pig”



බටහිර හෝ ආසියාතික හෝ ඕනෑම කොදෙව්වක කලාත්මක ප්‍රවේශයන් තුළ දැකිය හැකි වන්නේ, එක්තරා විනය පුහුණුවකි. කලාත්මක පරිකල්පනය පුද්ගලානුබද්ධ විය හැකි නමුත් එහි ප්‍රාසාංගිකත්වය සාමූහික කර්තව්‍යයකි. ඒ තුළ විනය පවත්වා ගැනීම අනිවාර්ය කාරණයකි. ඒ සඳහාකිසියම් විධානයක් අවශ්‍ය වේ.විධානයකින් තොරව විනය පවත්වා ගැනීම ස්වයං විනයලෙස හඳුනාගත හැකි වුවත් සාමූහික කර්තව්‍යයක දී ඒ සඳහා යොමුවක් අවශ්‍ය වේ.උදාහරණයක් ලෙස, බටහිර ස්වර ප්‍රස්ථාරයක් අධ්‍යයනය කරන ඔබට ඒ තුළ විධානයන් රාශියක් සංකේතාත්මකව දැකිය හැකි ය. වාදන ශිල්පියා හෝ ගායන ශිල්පියා විසින් ප්‍රසංගය තුළ සිදු කළ යුතු සියලුම දෑ ඒ තුළ සඳහන්ව පවතී. එයට අනුකූලව හැසිරීම ශිල්පීය පෞරුෂත්වය සහ ප්‍රාසංගිකත්වය විදහා දක්වන්නකි.

සංගීතය පුහුණු වන කාමරයක සන්සුන්,නිදහස් හෝ විනෝදකාමී පරිසරයක් වෙනුවට ලේ, දහඩිය, කඳුළු ආදියගෙන ඒමෙන් ඩේමියන් තම චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයා ග්‍රහණය කර ගනු ලබයි. විරුද්ධකාරකයම අපේක්ෂිත අවස්ථාවන් බවට පත්වීම කුතුහලය ඇවිස්සීමක් වේ. පෙර සඳහන් කළ පරිදි චිත්‍රපටයේ සංගීතාත්මක ගුණාත්මක භාවය මෙන්ම එහි රංග රචනය (Choreography)  අතිශය ප්‍රබලය. Miles Tellerගේ රංගන කුසලතාවය මත කිසිදු ආකාරයකින් ඔහු ඩ්‍රම්ස් වාදනය සඳහා ආධුනික බවක් නොපෙනේ. ඩ්‍රම්ස් කට්ටලය ඉදිරිපිට අසුන් ගැනීමේ සිට පළමු වාදන ඉරියව්ව සහ එහි අවසන් වාදන ඉරියව්ව දක්වා ඔහුගේ රංගනය අති විශිෂ්ටය.කිසිදු බාධාවකින් තොරව whiplash ප්‍රේක්ෂකයාට සමීප වන්නේ පළමු පැය පුරාරිද්මය පරිපූර්ණව තබාගනිමින් සිය කඩාවැටෙන බලාපොරොත්තු, නැගී සිටින බලාපොරොත්තු ඇන්ඩෘවිසින් ප්‍රතිනිර්මාණය කිරීමත්,  හුරුපුරුදු සංයුතිය පරිවර්තනය කරමින්  සිදු කරනු ලබන ෆ්ලෙචර් ගේ චරිතයත් සිනමාත්මකව ඉදිරිපත් කිරීම තුළය.Whiplash චිත්‍රපටය Jazz පිළිබඳ චිත්‍රපටයක් නොවුණත් ප්‍රබල සිනමා සංගීත ආශ්වාදයක් සමඟ ත්‍රාසය සහ ආතතිය, කුතුහලයේ සිට විශ්මය දක්වා සංවේදනය කරයි. ඕනෑම ආතතිය අවසානය ඓතිහාසිකය.ආතතියෙන් තොර වූ විට ඔබ මෙම චිත්‍රපටයෙන් ඉවත් වනු ඇත. 


1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 4.50 out of 5)
Loading...
Nilu Dilhani

Reply | ඔබේ අදහස්