“ඔයා හරිම හොඳ කොලු පැටියෙක්! දැන් නිදාගන්න. ඔයාට ලස්සන හීන පෙනේවි! සමහර විට අපි දෙන්නම දකින්නෙ හීනයක් වෙන්නැති. සමහර විට, මේ හැම දෙයක්ම හීනයක් වෙන්නත් පුළුවන්. අම්ම අපි දෙන්නම උදේට ඇහැරවාවි. එයා අපි දෙන්නටම බිස්කට් එක්ක කිරි හදල දේවි!“

ගුයිඩෝ විසින් සිය පස් හැවිරිදි සිඟිති පුතු ජොසුවා හමුවේ මෙම වදන් පවසන්නේ ඔහු නින්දට යන්නට සූදානම් වද්දී ය. ඒ ඉතාලි නිවසේ සුවපහසු කාමරයක ඇති පුතුගේ සයනය මත හිඳ නොවේ. දෙවන ලෝක යුද්ධයේ වින්දිතයන් ලෙස නාසි හමුදාවන්ට හසු වී කඳවුරක ජීවිතය ගෙවද්දී ය. යුදෙව්වෙකු වීම හේතුවෙන් යුදෙව් නොවන බිරිඳ ඩෝරාගෙන්ද වෙන්කොට ඔහු ද, පුතු ජොසුවාද කඳවුරට රැගෙන එද්දී දරුවා නාසින්ගේ ඇස්වලින් වසන් කොට තමන් සමඟ සඟවා තබාගන්නට ගුයිඩෝ සමත් වේ. නිශ්චිතව පෙනෙන මරණය හා තරග වදිමින් ජීවිතය දිනන්නට ඔහු ගෙනයන බිහිසුණු එනමුත් හාස්‍ය උපදවන ක්‍රියාකාරකම් මාලාව අති සුන්දර, මිනිසත්කම පිරුණු සිනමා සිත්තමක් අප ඉදිරියෙහි නිර්මාණ කරයි. ‘ජීවිතය සුන්දරයි‘ (Life is Beautiful) නම් ලබන ඒ සිනමා කෘතිය 1997 දී ඉතාලි ජාතික සිනමාකරු රොබර්ටෝ බෙනිග්නි (Roberto Benigni)විසින් නිර්මාණය කරන ලද්දකි.
ගුයිඩෝ-ඩෝරා ප්‍රේම වෘතාන්තය සමගින් ඇරඹෙන සිනමා කෘතියේ මුල් කාල සමය ඩෝරා දිනාගනු පිණිස ගුයිඩෝ විසින් සිදු කරනු ලබන ප්‍රේමණීය නමුත් හාස්‍යජනක ක්‍රියාකාරකම්වලින් පිරී පවතී. හාස්‍ය මුසු සිතුවමක් ලෙස අප සිත් පැහැරගන්නා එය ගුයිඩෝ සහ ඩෝරා, ජොසුවාගේ දෙමාපියන් ලෙස වැඩී වියපත් වත්ම ඔවුන් අභිමුවට එන දෙවැනි ලෝක යුද්ධය, ගුයිඩෝගේ සැහැල්ලු, විනෝදකාමී ජීවිතය ගිලගන්නා ආකාරය විමසන්නට යොමු කරයි. ලක්ෂ ගණනින් ජීවිත හා දේපළ ගිලගනිමින් ආ, සිය පොත් සාප්පුව හා සාමකාමී පවුල් ජීවිතය විනාශ කළ යුද්ධය ගුයිඩෝ භාරගන්නේ තරගයක් ලෙසිනි. ඒ සියල්ලටම වඩා සිය ප්‍රාණසම පුතුගේ ජීවිතය හෝ අනාගතය වෙත මුදා හරින රිසියෙනි. නාසි කඳවුරේ මරණාපේක්ෂක පිරිමින් අතර කුඩා ජොසුවා සඟවාගන්නා ඔහු නාසින්ගේ බිහිසුණු ප්‍රකාශන, ජර්මානු බසින් ස්වකීය ඉතාලි බසට පෙරළා සිය පුතු වෙතට අසන්නට සළස්වන්නේ තමන්ට අවැසි කතාවක් ඒ වෙනුවට ගෙන එමිනි.

“දැන් තරගෙ පටන් ගන්නයි යන්නෙ. ඔයාල ලකුණු 1000ක් ගන්න ඕනෙ මේකෙදි. ඔයාල මේක දිනුවොත් ඔයාලට ගෙදර ගෙනියන්න ලැබෙනව ලොකු තුවක්කුවක් තියෙන යුද්ධ ටැංකියක්. හැමදාම අපි ලකුණු අර ලවුඩ්ස්පීකරෙන් කියනව. ලකුණු අඩු වෙන ක්‍රම තුනක් තියෙනව. පළවෙනි එක, අඬන බබෙක් වෙන එක! දෙවනි එක අම්ම බලන්න ඕනෙ කියල කියන එක! තුන, ඔයාට බඩගිනියි කියල කන්න මොනවහරි ඉල්ලන එක!!“
ජොසුවාට කඳවුරේ සියලු බිහිසුණු දේ පෙනී යන්නේ ලොකු තුවක්කුවක් සහිත යුද්ධ ටැංකිය දිනාගැනීම සදහා කරන තරගයේ ක්‍රියාකාරකම් ලෙස ය. සිය පියාගේ තුරුලෙහි කුසගින්නෙන්, මව ළඟ නැති තනිකමින් තුරුළු වන ඔහු, තාත්තාටත්, තමන්ටත් දිනාගන්නට ඉඩ ලැබෙන යුධ ටැංකිය ගැන සිතමින් සැනසෙයි.
යුද්ධය හා බැඳී එන බිහිසුණු මරණය හා වේදනාව සමඟ හාස්‍යය සමපාත කරවා මුණගස්වන, ඒ හරහා මනුෂ්‍යත්වයේ උදාරත්වය අපට පසක් කරවන මේ මනරම් සිනමා කෘතිය කෑන්ස් සිනමා උළෙල සහ ඔස්කාර් සම්මාන උළෙල ඇතුළු ප්‍රධාන උළෙල ගණනාවක් ආක්‍රමණය කොට ඉහළම සම්මාන ගණනාවක් සන්තකයට ගත්තේ ය. ඉතාලි සිනමා විචාරකයින් අධ්‍යක්ෂක බෙනිග්නි ජාතික වීරයෙකු කොට ඔසවා තැබූ, ජුවාන් පාවුළු පාප්තුමන් ඇතුළු ආගමික සමාජයෙන් ද, පොදු ප්‍රේක්ෂකයන් වෙතින් ද ඉහළ පැසසුම් ලැබූ සිනමා කෘතිය එක්තරා අයුරකින් ලෝක යුද්ධය වෙත හා ජර්මානු නාසි හමුදා වෙත පැවති වෛරය හා විරෝධය සිනමාත්මකව මුදා හැරීමක් විය.
සිනමා පටය කෙළවර වන්නේ ලෝක යුද්ධයේ කෙළවර මිත්‍ර හමුදා කඳවුර වෙත ප්‍රවේශ වීමෙනි. කුඩා පෙට්ටියක පෙර දා රැයේ ජොසුවා සඟවා තබා ගුයිඩෝ පිටව යන්නේ පසුදා උදෑසන ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 1000 ලැබෙන බව නියත බැව් කියමිනි. අවසන් තත්පරයේදී ඔහු නාසින්ගේ අතට හසුවන නමුත් කුඩා ජොසුවාට පසුදින එළිය දකින්නට වරම් හිමි වේ. සැඟව සිටින තැනින් එළියට එන ඔහු දකින්නේ කඳවුර දෙසට හැරී එන මිත්‍ර හමුදාවන් සතු විශාල යුද්ධ ටැංකියයි. ඒ වෙත නංවා ගෙන ගෙනයන ජොසුවාට ඉදිරියට ඇදෙන සෙනග අතරින් සිය මව හමුවේ. නරඹන්නන් නෙතින් කදුළු සැලෙද්දී කිසිවක් නොදන්නා ජොසුවා සතුටින් කෑගසයි!

“අම්මේ! අපි යුද්ධ ටැංකිය දිනුවා!! අපි ලකුණු දාහම ගත්තා!!!“
සිනමා කෘතියේ බරැති, වේදනාබර නමුත් සැනසුම් සුසුම් ද කැඳවන අවසානය ජීවිතය චිත්රණය කළ හැකි තවත් අපූර්ව සිනමා ආකෘතියක් අප වෙත තබයි.
- ‘රෝස කැකුළ‘ – Citizen Kane | 1941 - November 19, 2020
- බයිසිකලය | The Bicycle Thieves – 1948 - October 29, 2020
- පුංචි පාදඩයා | City Lights (1931) - October 12, 2020