Posted on

විසිවැනි සියවස ඇරඹෙන සමයේ ආරම්භක දශකයක, ඇමරිකානු නගර වීදියක බකල ගසමින් ඇවිද යන එක් කුඩා මිනිසෙකි. එල්ලා වැටෙන ඉරී ගිය කලිසම, ඇඟටම හිරවී ගිය උඩු කබාය, අත රැදි බස්තම, හිස රැදී තොප්පිය හා මුවට ඉහළින් වන ‘හිට්ලර් පන්නයේ‘ උඩු රැවුල ඔහු වෙත ගෙන එන්නේ විසුළු පෙනුමකි. නගර වීදි කෙළවර පත්තර විකුණන කොල්ලන් ඔහු වෙත ගල් කැට විසි කරමින් ඔහුට ඔච්චම් කරයි. බිම වැටී ඇති විසි කර දැමූ සුරුට්ටු කොටයක් ගෙන එහි ඉතිරිය ආඩම්බරයෙන් දල්වාගන්නා මේ කුඩා මිනිසා ඔච්චම් කරන කොල්ලන්ට ඔරවමින් වීදිය දිග ඇවිද යයි.
 
‘පුංචි පාදඩයා‘ නම් ලැබූ මෙම කුඩා මිනිසා එම සමයේ නිර්මාණය වූ ඇමරිකානු නිහඬ සිනමා කෘති රාශියක යළි යළිත් වීදි කෙළවරින් නැගී ඇවිද ආ, ප්‍රේක්ෂාගාරය දැඩිව ආකර්ෂණය කරගත්, චරිතයකි. එය නිරූපණය කරන ලද්දේ එදා මෙදාතුර ලොව විශිෂ්ඨතම නළුවා යැයි විරුදාවලි ලැබූ චාලි චැප්ලින් (Charlie Chaplin) විසිනි. ඒ චරිතය මුණගැසුණු චිත්‍ර‍පට බොහොමයක්ම ඔහු විසින්ම ලියා අධ්‍යක්ෂණය කරන්නට යෙදුණු නිමැවුම් වූ අතර ඒ කෘතීන්හි සංගීත නිර්මාණකරුවා වූයේ ද චැප්ලින් මය. මනුෂ්‍යත්වය හා මානව දයාව හා දැඩිව බැදුණු මෙම කෘති සිනහවෙන් පිරී ගිය ප්‍රේක්ෂාගාරයක් පළමුව තනා දෙවනුව ඒ ඔස්සේ යමින් ජීවිතය දෙස ගැඹුරින් විමසා බලන්නට අපට ආරාධනය කළේ විය.

City Lights – 1931

1931 දී නිර්මාණය වූ, ‘සිටි ලයිට්ස්‘ (City Lightsනම් ලැබූ ‘පුංචි පාදඩයා‘ගේ ප්‍ර‍මුඛ භූමිකාවක් හමුවන, එම චිත්‍ර‍පට අතුරින් ප්‍ර‍ධානතම කෘතියක අනෙත් ප්‍ර‍ධාන භූමිකාව නෙත් අඳ තරුණියකි. අන්ධ බව නිසාම, ධනවතකු ලෙස හැසිරෙන නමුත් අතේ සතයකුදු නැති ‘පාදඩයා‘ගේ සැබෑ තත්වය ඇය නොදකී. මග මග වීදි කොණක මල් කූඩයක් තබාගෙන ඒ විකුණා, තමාගේත් මිත්තණියගේත් දිවි සරි කරගන්නා තරුණිය ‘පාදඩයා‘ හඳුනාගන්නේ, පොලිසිය මග හැරීම සඳහා හාස්‍යජනක ලෙස මග ඇති මෝටර් රථයක එක් දොරකින් රිංගා අනිත් දොරින් පිටතට පැන වීදියට බසින නිසාම, ධනවතකු ලෙස රියකින් බසින මහත්මයකු ලෙස ය.
 
හාස්‍යය සිය ප්‍ර‍මුඛ ප්‍රවේශය කරගන්නා චැප්ලින් ‘සිටි ලයිට්ස්‘ ඉදිරියට විහිදුවන්නේ ඒ තරුණියට පෙම් කරන ‘පුංචි පාදඩයා‘ මුහුණ දෙන අනේක ගැහැට පෙරළි පෙරළී සිනාසෙන සිදුවීම් ලෙස පෙළගස්වමින් අප වෙත තබමිනි. එහෙත් ඒ අවිහිංසක චරිතයේ අපේක්ෂාව උදාර වන්නේ ප්‍රේමය පෙරදැරිව තරුණිය වෙත උදව් කිරීමේ දැඩි අපේක්ෂාවෙන් ඔහු සන්නද්ධව ක්‍රියා කරන හෙයිනි. ඒ ක්‍රියාවන් අපූරු ගැටුමක් ඔස්සේ දිවෙන්නේ ඔහුට අහම්බයකින් මහා ධනවතෙකු මුණගැසෙන හෙයිනි. ධනය ඇති පදමටත් වඩා ඇති හෙයින් මහේශාඛ්‍ය ජීවිතයක් ගත කළද ඔහු ජීවිතයේ සතුට ළඟා කරගත නොහැකිවීම නිසාවෙන් දියට පැන දිවි නසාගන්නට යත්න දරද්දී ‘පුංචි පාදඩයා‘ ඔහු බේරාගනියි.

City Lights – 1931

“හෙට කුරුල්ලන් ගී ගයාවි… ඒ ඔබගේ දිනය වේවි!“

 

ජීවිතාපේක්ෂාව පිළිබඳ ධනපතියෙකුගේ සිතෙහි බලාපොරොත්තු ඇති කිරීමට ‘පුංචි පාදඩයා‘ තැත් දරන බව ‘නිහඬ සිනමා කෘතියේ‘ තිරය මත ලියැවෙන දෙබස් ඛණ්ඩ අපට දන්වා සිටී.
 
පියවි ලොව දී දරුණු ලෙස හැසිරෙන ධනපතියා උත්ප්‍රාසජනක ලෙස බීමත් වූ විගස ඉතා ගුණවත් අයෙකු බවට හැරේ. ‘බේබදු ලෝකයේදී‘ පමණක් සිය ‘මිතුරා‘ වන ‘පාදඩයා‘ට හැකි පමණ උදව් කරන ඔහු සිය රෝල්ස් රොයිස් රථය පවා ඔහු වෙත පරිත්‍යාග කරයි. සිය නිවසේ තම සයනය ද ඔහු හා බෙදා ගනියි. ඔහුට හැකි තරම් ඉස්තරම් ලෙස කවා පොවා සන්තර්පණය කරයි. එහෙත් ‘පියවි සිහිය‘ ලද විගස ඔහු වහා සිය සේවකයා කැඳවා ‘පුංචි පාදඩයා‘ පන්නා දමන්නේ ‘කොහෙන් පැමිණි එකෙකුදැයි‘ විමසමිනි.
 
‘සිටි ලයිට්ස්‘ ඇතුළු සිනමා කෘති ගණනාවකදීම චැප්ලින් රංගනය හා රූප නිර්මාණය හරහා සියළු සංවේදනා හා අදහස් අප වෙත සම්ප්‍රේෂණය කරයි. එය රූපය මුල් කරගත් මාධ්‍යයක අරුමැති ශක්‍යතාව අපට පසක් කර දෙමිනි. ඔහු එහිදී කෙතරම් සාර්ථක වීද යත්, හඬ සිනමාව හා එකතු වූ පසුද වසර ගණනාවක් යන තුරුම ඔහු ගණුදෙනු කළේ රූපය පමණක් සිය නිර්මාණ වෙත කැදවමිනි. ‘සිටි ලයිට්ස්‘ අයත් වන්නේ ද එම පසු යුගයේ කෘති අතරට ය.
 
නෙත් අ මල් විකුණන තරුණියගේ ජීවිතයට සහායක් වන්නටත්, අහම්බෙන් ඔහු දකින නෙත් සුව කරන වෛද්‍යවරයකු වෙත ඇය රැගෙන යන්නටත් ඇති අරමුණු සහිතව, සිය ප්‍රේමය ඇය වෙත ප්‍ර‍කාශ නොකරමින්, ‘පුංචි පාදඩයා‘ දහසකුත් එකක් ගැහැට විද මුදල් සොයයි. වරෙක ඔහු වීදිය අමදින කසල ශෝධකයෙකු ලෙස රැකියාවකට යයි. කෑම විවේකයේදී තරුණිය දැක ගන්නට ගොස් වන ප්‍ර‍මාදයෙන් ඔහුට රැකියාව අහිමි වේ. පසුව ඔහුට මුදල් ඔට්ටුවට බොක්සිං ගසන්නට යන ජාවාරම්කාරයෙකු මුදල බෙදාගන්නට ‘බොරු බොක්සිං ගැහිල්ලකට‘ ඇරයුම් කරයි. තරගය ඇරඹෙන්නට මොහොතකට පෙර ජාවාරම්කාරයා පොලිසියට බිය වී පැන දිවීම නිසා ‘පාදඩයාට‘ සිදු වන්නේ ‘හැබෑවටම ගුටි කන්නට වන‘ බොක්සිං කෙළියකට යන්නට ය. ඒ බොක්සිං තරගයේ දර්ශනය අප වෙත මවන්නේ සිනමා කෘතියක මුණ ගැසෙන විශිෂ්ඨතම හාස්‍යෝත්පාදක අවස්ථාවකි.

City Lights – 1931

අනේක ගැහැට කෙළවර ඔහු බේබදු ධනවතාගෙන් මුදල් ඉල්ලන්නට තීරණය කරයි. නමුත් ඔහු වෙත තිළිණ කරන මුදල පිළිබඳවවත් ක්ෂණිකව රූපාණ්තරණය වන ධනවතාගේ මතකයේ නැත. නීතියෙන් මොහොතකට ගැලවී ‘පුංචි පාදඩයා‘ තමන් ලබන මුදල තරුණිය අතට පත් කළ ද පසුව ඔහු නීතිය හමුවට යැවේ.
 
මිනිස් ජීවිතයක පැවතිය යුතු ගුණ සුවඳ පිළිබඳ මහරු දැක්මක් සහිතව කෙළවර කෙරෙන චැප්ලින්ගේ සිනමා කෘති කිසිවක අවසාන දර්ශන කිහිපය හාස්‍යය අසළකට හෝ කැඳවන්නේ නැත. ප්‍රේක්ෂාගාරය වෙත මානව දයාව පිළිබඳ මාහැගි අදහසක් සපයා දෙන ‘සිටි ලයිට්ස්‘ සොයා නරඹන්නට මම ඔබට ඇරයුම් කරමි. නියත වශයෙන්ම ඒ පිවිසුම, මෙතෙක් ගමන අරඹා නොමැතිනම්, ඔබ චැප්ලින් ලෝලියෙකු ලෙස යන ගමනක ඇරඹුම තනා දෙනු ඇත.

Priyantha Fonseka

Reply | ඔබේ අදහස්