චාල්ස් ෆොස්ටර් කේන් යනු ඇමරිකානු ජාතික ධනවත් මහළු ව්‍යාපාරිකයෙකි. හිමෙන් පිරුණු පසුබිමක් සිහි ගන්වන ත්‍රිමාන රූ සහිත වීදුරු බෝලයක් අත දරාගෙන මරණාසන්නව වැතිර සිටින ඔහුගේ අතින් ඒ ගිලිහී යන්නේ මරණය ඔහු කරා පැමිණෙද්දීම ය. ‘Rose Bud’, නැත්නම්, ‘රෝස කැකුළ‘ යන්න ඔහු මුවින් ගිලිහෙන අවසන් වදන වෙයි. මරණය ඔහු වෙත එද්දීම ඔහු මුවින් ගිලිහුණු මේ වදන සංඥා කරන ලද්දේ කවරක්දැයි යන්න පිළිබද කිසිවකුට නිසි අදහසක් නොමැත. ලෝ ප්‍රකට, පුවත්පත් හිමිකරුවකු හා ධනවතකු වන කේන්ගේ මරණය ලොව අවධානය දිනාගත් පුවතක් බවට පත්වෙද්දීම ‘ප්රවෘත්ති රීල‘ සිනමා නිර්මාණකරුවකු වන ජෙරී තොම්ප්සන් තීරණය කරන්නේ කේන් කී මෙම අවසන් වදනෙහි අර්ථය සොයා යන්න ට ය. 1941 දී නිර්මාණය වී, දශක ගණනක් මුළුල්ලේම ලොව එදා මෙදාතුර බිහිවූ විශිෂ්ඨම සිනමා කෘතිය ලෙස ඇගයුම් ලබන්නට වරම් ලද ඕසන් වේල්ස් (Orson Welles)අධ්‍යක්ෂණය කළ ‘Citizen Kane’ (සිටිසන් කේන්) සදහා පාදක වන්නේ ඉහත කී අපැහැදිලි වදනක නිර්වචනය සොයා ප්රවෘත්ති රීල සිනමාකරුවකු සිදු කරන සොයා යෑමක සිනමාත්මක සටහනයි.

සම්භාව්‍ය හොලිවුඩ් ආඛ්‍යාන සිනමාව ලෙස පසුකාලීනව ලෝක සිනමා න්‍යාය තුළ කාල නිර්ණය වී අවධානයට යොමු වන 1930 දශකයේ සිට ඉදිරි දශක දෙක තුන දක්වා විහිදි සිනමා සමයේ ප්‍රමුඛතම කෘතියක් වන ‘සිටිසන් කේන්‘ තරුණ සිනමාකරුවකු ලෙස ඕසන් වේල්ස්ගේ දක්ෂතාවයක්, අතිදක්ෂ සිනමා රංගධරයෙකු ලෙස ඔහුගේම වෛශිෂ්ඨත්වයත් ලොවට හෙළි කළ කෘතියකි. ආඛ්‍යානය ගොඩ නැගීමේ සිට ව්‍යක්ත ලෙස සිනමා බස හැසිරවීම දක්වා අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහු තුළ වන ප්‍රතිභාව ද, තරුණයෙකු සිට මරණය වැලදගන්නා මහල්ලකු වන තෙක්ම කේන්ගේ චරිතය ප්‍රතිනිර්මාණය කිරීම දක්වා රංගධරයෙකු ලෙස ඔහු තුළ තිබුණු ප්‍රතිභාව ද එක ලෙස ප්‍රකට කරන්නට ‘සිටිසන් කේන්‘ සමත් වූයේ සිනමාව පිළිබද පූර්ණ උදාහරණ අංගවලින් සමන්විත තක්සලාවක් බවට ද ඒ පත් කොට තබමිනි.
‘රෝස කැකුළෙහි‘ අභිරහස හෙළි කරගන්නට තොම්ප්සන් කේන්ගේ අතීත සමීපතමයින් සොයා චාරිකාවක් අරඹයි. ඒ වන විට, තදින් මත්පැනට ඇබ්බැහි වී සිටින හා රාත්‍රී සමාජශාලාවක් හිමි කේන්ගේ දෙවැනි බිරිද වූ සූසන් ඇලෙක්සැන්ඩර්, කේන්ගේ පෞද්ගලික ව්‍යාපාර කළමණාකාර බ්රෙන්ස්ටයින්, ඔහුගේ සමීප මිතුරකු වූ ජෙඩෙඩියා ලේලන්ඩ් සහ මියගිය බැංකුකරුවකු වූ වොල්ටර් පාක්ස් තැචර්ගේ පෞද්ගලික ලිපිගොනු හරහා වන එම චාරිකාව ෆ්ලොරිඩාවේ ධන කුවේරයකුව මියගිය කේන් දුප්පත් දරුවෙකු ලෙස කොලරාඩෝවේ සිට අරඹන දිගු ගමනක අතීත අවදීන් වෙත කෙරෙන පසු විමසුම් ගමනක් බවට පත් වෙයි. කේන්ගේ ‘රෝස කැකුළ‘ යන වදනෙහි නිසි අරුත, කිසිවකු වෙත ස්ථිර පිළිතුරක් ලෙස හමු නොවූව ද වේදනාබර ළමා කාලයක්, දුෂ්කරතා හා අභියෝගයන්ගෙන් පිරි තරුණ කාලයක් හරහා ඔහු ආ ගමනත්, ජීවන අරුත් යළි විමසන්නට තරම් වන ඔහු මුහුණ දුන් ජීවන අරගලයත් අප වෙත මුණ ගැසෙන්නට පටන් ගනී.

“ඔබට පුළුවන් වුණොත් රෝස කැකුළ කියන වචනෙ තේරුම හොයාගන්න, මං ඔට්ටු අල්ලනව අපිට පුළුවන් හැම දෙයක්ම පැහැදිලි කරගන්න“ වරෙක රෝස කැකුළෙහි අරුත සොයන්නට යන ජෙරී තොම්ප්සන් වෙත වාර්තාකාරිණියක් කියයි.
“නෑ. මම හිතන්නෙ නෑ. කේන් මහත්මයා කියන්නෙ එයාට ඕනෙ හැමදෙයක්ම ලැබුණු ඒත් එක්කම ඒ සේරම නැතිවුණු කෙනෙක්. රෝස කැකුළ කියන්නෙ සමහර විට එයාට නොලැබුණු දෙයක් නැත්තම් එයා ළග තිබිල නැතිවුණු දෙයක් වෙන්න පුළුවන්. ඒකෙන් කිසිම දෙයක් පැහැදිලි වෙන්නෙ නෑ. මම හිතන්නෙ නෑ කිසිම වචනයකින් කෙනෙකුගෙ ජීවිතයක් පැහැදිලි වෙනව කියල. නෑ! රෝස කැකුළ කියන්නෙ නිකම්ම නිකං ප්‍රෙහේලිකාවක එක වචනයක්! නැතිවුණු වචනයක්!!“
ඇමරිකානු පුවත්පත් සමාගම් අයිතිකරුවකු වූ විලියම් හර්ස්ට්, චිකාගෝවේ විසූ කුවේරයින් වූ සැමුවෙල් ඉන්සල් සහ හැරල්ඩ් මැක්රොමික් යන අයගේ ජීවන වෘත්ත හා වේල්ස්ගේම ජීවිතයේ අතීත අන්දර අතුරින් මනාව තෝරාගත් ජීවිත කැබැලි සකසුරුවම්ව වියමන් කළ ‘සිටිසන් කේන්‘ සැබවින්ම ජීවිතයේ ප්රෙහේලිකාර්ථවලට සිනමා රූපය තුළ පිළිතුරු සෙවූ අනගි සිනමා පටයකි. 2012 වර්ෂයේදී ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ ‘වර්ටිගෝ‘ සිනමා කෘතියට දෙවැනි වන තුරුම ‘සයිට් ඇන්ඩ් සවුන්ඩ්‘ ඇගයුමෙහි අංක එක දිනා සිටි එය, විශිෂ්ඨ කෘතියක් ලෙස රැදෙමින්ම නිරතුරුව පසක් කළේ එහි අවසානය සමග නරඹන්නා හදුනාගන්නා, නමුත් කෘතියේ චරිත නොදකින, ‘රෝස කැකුළෙහි‘ යථා රූපයයි.
ඔව්! ජීවිතය යනු වදනකට ගොනු කළ නොහැකි දෙයකි!
- ‘රෝස කැකුළ‘ – Citizen Kane | 1941 - November 19, 2020
- බයිසිකලය | The Bicycle Thieves – 1948 - October 29, 2020
- පුංචි පාදඩයා | City Lights (1931) - October 12, 2020