Posted on

“ගොවිපළක් පටන් අරගෙන සොබාදහමත් එක්ක සමගියෙන් වැඩ කරන්න හිතන එක, ඇත්තටම ඒක හැමෝටම පෙනුනේ මහ විකාර අදහසක් කියල. ‘කරගන්න බැරි වුණාම ඉක්මනට අත් හැරලා දායි.’ හැමෝම හිතුවේ එහෙම. ඒත් හොඳම වැඩේ මොකද්ද දන්නවද, මේ ඔක්කොම පටන් ගත්තේ අපි අපේ බලු රාළට වෙච්ච පොරොන්දුවක් නිසා.”


‘ජෝන්’ සහ ‘මොලී’ ජීවත්වෙන්නේ කැලිෆෝනියාවේ ‘සැන්ට මොනිකා’ නගරයේ පුංචි මහල් නිවාසයකයි. ‘ජෝන් චෙස්ටර්’ වෘත්තීයෙන් සිනමා කැමරා අධ්යක්ෂවරයෙක්. ලෝක වටේ යමින් වනජීවී වැඩසටහන් වලට තම දායකත්වය දෙන එක තමයි එයා කරන්නේ. මොලී ඇණවුම් සපයන සූපවේදිනියක්, ඒ වගේම එයා සූපවේදය පිළිබද බ්ලොග් එකක් කරනවා. විශේෂයෙන්ම එයා ලියන්නේ සෞඛ්ය සහ පෝෂණය වැඩි දියුණු කරගන්න සාම්ප්රදායික ආහාර රටා භාවිතා කරන්නේ කොහොමද කියල. ඉතින් එයා දන්නවා රහසක්. ඒ තමයි අපි ගන්න ආහාර අපිට කොහොමද බලපාන්නේ කියන එකට, ඒවා කොහොමද වගා කරන්නේ කියන එක අතිශය වැදගත් කාරණයක් කියන එක.

“ඉතින් අපි බැඳපු අලුත ලස්සන පුංචි ගොවිපලක් ගැන හීන මැව්වා. ඒ ගොවිපලේ තියෙනවා පළතුරු වතු, නෙක උයන්, සත්තු, ඖෂධ, මල්, මේ හැම ජාතියම. අපි ළමා පොතක සුරංගනා කතා කියෝනවා වගේ මේවා ගැන කතා කර කර හිටියා රැයවල් පුරාවට.”

ඒත් ඉතින් ඇත්තටම මොලිට කරන්න පුළුවන් වුණේ අපේ පුංචි සදළුතලේ තක්කලි පැල වවන්න විතරයි. ඉතින් මම දන්නේ නෑ මොලීගේ මේ සිහිනේ කවදා කොහොම හැබෑ කරගන්න පුළුවන්ද කියල. හැබැයි මේ ඔක්කොම වෙනස් වෙන්න පටන්ගත්තේ අපි කෙනෙක්ගේ ජීවිතයක් බේරගත්ත දවසේ.
 
දන්නවද? එතන හිටියා දෙසීයක් විතර හොරකම් කරපු බලු රාළලා. අපි කණ්ඩායමක් ඒ ඔක්කෝම නිදහස් කරන්න කටයුතු කළා. ඔන්න ඒ අස්සේ එයා එයාගේ නිල් ඇස් වලින් මං දිහා බලන් හිටියා. හේ! මං මේ යාළුවට කැමතියි, මං මෙයා තියාගන්නවා. අන්න එහෙමයි මට ටොඩ් හම්බුණේ. ඉතින් මං මොලීට කිව්වා, මොලී, මෙයා තමයි කෙනා කියලා.
 
“අයියෝ ජෝන් ඒකනම් එච්චර හොඳ අදහසක් නෙමේ.” මොලී කිව්වා.
 
“අනේ ඒ වුණාට බලන්නකෝ එයාගේ ඇස් දිහා.”
 
ජෝන් බලුරාළව ගෙදර ගෙනාවා.
 
හේ මොලී! ඔන්න අපිට දැන් බබෙක් ඉන්නවා!!!
 
මොලී සතුටින් උඩ පැන්නා. දෙන්නම ටොඩ්ට සැලකුවේ ඇත්තටම බබෙක්ට වගේ තමයි. ටොඩ්ටත් සතුටුයි, එයාට අලුත් ගෙදරක්, අලුත් පවුලක්.


‘ටොඩ්’ අපේ ජීවිතවලට තේරුමක් දුන්නා. ඉතින් අපි එයාට පොරොන්දුවක් දුන්නා. “ටොඩ් මේ තමයි ඔයාගේ අන්තිම ගෙදර. ආයේ ඔයාව වෙන කොහෙටවත් යවන්නේ නෑ. මේ තමයි ඔයාගෙ පවුල”
 
ඔන්න දැන් තමයි ප්රශ්න පටන්ගත්තේ, ගෙදරට ගෙනල්ල ටික දවසකින් ටොඩ් දිගටම බුරන්න පටන්ගත්තා. ඒ කියන්නේ අපි ගෙදර නැති වෙන්නේ කොයි වෙලාවෙද, ඔන්න ටොඩ් බුරන්න පටන්ගන්නවා. අපි කොච්චර උත්සාහ කළත් ටොඩ් ගේ මේ පුරුද්ද නවත්වන්න අපිට බැරි වුණා. ඔන්න අසල්වැසියෝ එක්කෙනා දෙන්නා කෝල් කරන්න පටන්ගත්තා.
 
“ආහ්..ජෝන් සමාවෙන්න මෙහෙම කියනවට. ඕගොලන්ගේ බල්ලා ඊයේ රෑ එක දිගටම බිරුවා. අපිට මුළු රෑම නින්දක් නෑ. “
 
” අයියෝ ජෝන් ඕගොල්ලන්ගේ බල්ලා ඉවරයක් නෑ බුරනවනේ”
 
“අයියෝ ජෝන් අපිට දවල්ට වැඩක් කරගන්නත් බෑනේ”
 
“බල්ලෙක් හදන එක නම් හොදයි. ඒත්…”
 
මේ පැමිණිලි ඉවරයක් නැතුව ගියා. “අනේ සමාවෙන්න, අපි ටොඩ් ගේ මේ පුරුද්ද නවත්වන්න කොහොමහරි උත්සාහ කරනවා.”
 
ඇත්තටම අපි නොකරපු දෙයක් නෑ. හැම උපදේශයක්ම කරල බැලුවා. ඒත් ටොඩ් නෙමේ බිරිල්ල නවත්වන්නේ. අන්තිමට ටොඩ්ව ගෙදරින් පිටමං කරන්න කියලා රතු නිවේදනය ආව. වෙන එපාට්මන්ට් එකකට ගියත් ටොඩ් ගේ බිරිල්ල නවතින එකක් නෑනේ. එතකොට? අනේ ටොඩ්, ඔයාට දැන් නම් යන්නම වෙනවා…
 
ඒත් අපි එයාට පොරොන්දුවක් වුණානේ. අපි එයාගේ අන්තිම පවුල. ඉතින් කොහොමද එයාව ගෙදරින් පිටමං කරන්නේ. අයියෝ දැන් ඉතින් මොකද කරන්නේ?
 
ඔන්න මේ වෙලාවේ තමයි අපේ ඔලුවට ඒ අදහස ගැහුවේ. “දෙයියනේ අපේ ගොවිපළ! මේ තමයි ඒකට වෙලාව. ” මොලී ගේ සිහිනය තමයි මේ හැම දේකටම පිළිතුර!
 
ඇත්තම කිව්වොත් අපිට සුපිරි අදහස් තිබුණා ගොවිපළක් හදන හැටි ගැන. හැබැයි අපිට සත පහක් තිබුණේ නෑ එක පර්චස් එකක් ගන්න. ඉතින් දැන්? ඉතින් අපි පුළුවන් තරම් ෆාමින් සම්බන්ධ පොත් කියෙව්වා. වයස ගොවි මහත්තුරු හොයලා ඒගොල්ලට ෆෝන් එකෙන් කතා කළා. ඒ ගොල්ලන්ගේ උපදෙස් ගත්තා. අන්තිමට අපි හැදුවා බිස්නස් ප්ලෑන් එකක්.
 
ඔව් දැන් තමයි වෙලාව ව්යාපාර සහකරුවෝ හොයාගන්න. ඉතින් ඔක්කොටම කලින් අපි අපේ ළගම යාළුවොන්ටයි, පවුලේ අයවයි ගෙන්නලා අපේ අරමුණ ඒ ගොල්ලන්ට කිව්වා.
 
ඔව්, ඇත්තටම… ඇත්තටම… අපි කිව්ව දේවල් අහල ඒ ගොල්ල අපෙන් හොද ෆන් එකක් ගත්තා.
 
“Old MacMolly had a farm
E-I-E-I-O!! “
 
හැබැයි ඒක වැඩ කළා. කොහොමද දන්නවද, ඒ ගොල්ල ඒ කතාව තව කෙනෙක්ට කිව්වා. එයා තව කෙනෙක්ට කිව්වා. එයා තව කෙනෙක්ට කිව්වා. ඔන්න ඔහොම ජොන් සහ මොලි ගොවිපළක් කරන්න යනවා, කියන එක හැමතැනම පැතිරිලා ගියා. ‘මෙන්න මේ වගේ සාම්ප්රදායික ගොවිතැන් ක්රමය තමයි අපේ අනාගතය විය යුත්තේ’ කියල හිතපු ව්යාපාරිකයෝ කිහිපදෙනෙක් අපේ මේ පුංචි සුරංගනා කතාවට ආයෝජනය කරන්න කැමති වුණා. “


මෙන්න මෙහෙම තමයි මොලී සහ ජෝන් ඒ ගොල්ලන්ගේ ගොවිපළ පටන්ගත්තේ. 2010 ඉදලා මේ වනකල් මේ ගොල්ලා මේ ගොවිපළ කරන්නේ ලේසි පහසු මාවතක් ඔස්සේ නම් නෙමේ. ඒක සබෑ ඔඩෙසි එකක්. මේ චිත්රපටය පුරා දිග හැරෙන්නේ තරුණ යුවළක්, කැලිෆෝනියාවේ අත්හැර දමන ලද අක්කර දෙසීයක කටුක භූමියක් සදාහරිත ගොවිපළක් බවට හැරවීමේ අතිශය දුශ්කර ගමනක මහන්සියේ ප්රතිඵලය. චිත්රපටය ඇතුළේ අපිට අපේ පරිසරය ගැන, මනුෂ්යයා ගැන සත්තු ගැන ආහාර ගැන සහ පාරසරික තුලනය පිළිබඳව ගෙන එන පාඩම අතිශය වැදගත්. ඇත්තෙන්ම මේ චිත්රපටය පරිසරය සමඟ අපි කොච්චර සහජීවනයෙන් කටයුතු කළ යුතු දැයි කියා පෙන්වන පුස්තකාලයක්.
 
ඒ වගේම කියන්න ඕන මේ වෙනකොට ලෝකෙ වටෙන්ම සංචාරකයෝ එනවා ඒ ගොල්ලන්ගේ ගොවිපළ බලන්න. ඉතින් මේ අවුරුදු අට පුරාවටම ජෝන් හැම සැප දුකක්ම තමන්ගේ කැමරා කාචයේ සටහන් කරගෙන තියෙනවා. අවසානයේ මේ ඔක්කෝම එකතු කරලා ඒ ගොල්ලා හදන මේ වාර්තා චිත්රපටය සුවිශේෂ සම්මාන තොගයක් දිනාගෙන ලොව පුරා කතාබහට ලක්වෙනවා. ඒ වගේම අදටත් මේ මොහොතේ පවා ඒ කතාව ඉස්සරහට ලියැවෙමින් තියෙනවා.
 

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 1.00 out of 5)
Loading...
Avatar

One Reply to “අපේ සිහින ගොවිපළ – 2018”

  1. ගොඩක් හොඳ ලිපියක්.
    ඒ වගේම නලින් අයියේ ඔයා film meking ගැන කරපු ලිපි series එක ‘සිඩ් ෆීල්ඩ්ගේ පැරඩයිමය’ කියන තැනින් නැවැත්තුව ද? අනේ ඒක නවත්තන්න එපා. දිගටම කරන්න please 🙏🙏

Reply | ඔබේ අදහස්